පළමු ශික්ෂාපදය යි.
8. 1. 2.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ (සිවුරු) පොරවති -පෙ-
“හාත්පස රවුම් වන සේ (පිරිමඬුලු කොට) පොරවන්නෙමි යි හික්මිය යුතු ය” යි.
2. පොරවන්නා විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරවිය යුතු ය. යමෙක් අනාදරයෙන් ඉදිරියෙන් හෝ පසුපසින් හෝ එල්ලෙන සේ පොරවයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය.
8. 1. 3.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) සිරුර විවෘත කරගෙන (කර ඇට හා පපුව පෙනෙන සේ) ගම ඇතුළෙහි යති -පෙ-
“මනාව සිරුර වසාගෙන ගම ඇතුළෙහි යන්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සිරුර වසාගත් අය විසින් ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය.
8. 1. 4.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“මනාව සිරුර වසාගෙන ගම ඇතුළෙහි හිඳින්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සිරුර වසාගත් අය විසින් ගම ඇතුළෙහි හිඳිය යුතුය. යමෙක් අනාදරය නිසා සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි හිඳියි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, වාසය සඳහා (ගෙයක) නැවතී සිටින්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සිව්වන ශික්ෂාපදය.