පරිමණ්ඩල වර්ගය
8. 1. 1.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ (සිවුරු) අඳිති. මිනිසුන් හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්රමණයන් කාමසැප විඳින ගිහියන් මෙන් ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ අඳින්නාහු ද?” කියා.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිකර වචන) භික්ෂූන්ට ඇසුණේ ය. අල්පේච්ඡ (ආශා අඩු) වූ (අඩු ආශා ඇති) යම් භික්ෂූන් වහන්සේලා සිටියේ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූන් ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ අඳින්නාහු ද?” කියා. එකල්හි ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිලා, මේ අවස්ථාවෙහිලා ධර්ම කතාවක් කොට භික්ෂු සංඝයා රැස් කරවා ෂඩ්වර්ගික භික්ෂූන්ගෙන් මෙසේ විචාළ සේක: “මහණෙනි, ඔබ ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ අඳින බව සැබෑ ද?” “සැබෑව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ අඳින්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“හාත්පස රවුම් වන සේ (පිරිමඬුලු කොට) අඳින්නෙමි යි හික්මිය යුතු ය” යි.
3. නාභිය හා දණහිස් වැසෙන සේ පිරිමඬුලු කොට ඇඳිය යුතු ය. යමෙක් අනාදරයෙන් ඉදිරියෙන් හෝ පසුපසින් හෝ එල්ලෙන සේ අඳියි නම් දුක්කට ඇවැත් වේ.
අනාපත්ති: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමු ශික්ෂාපදය යි.
8. 1. 2.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඉදිරියෙනුත් පසුපසිනුත් එල්ලෙන සේ (සිවුරු) පොරවති -පෙ-
“හාත්පස රවුම් වන සේ (පිරිමඬුලු කොට) පොරවන්නෙමි යි හික්මිය යුතු ය” යි.
2. පොරවන්නා විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරවිය යුතු ය. යමෙක් අනාදරයෙන් ඉදිරියෙන් හෝ පසුපසින් හෝ එල්ලෙන සේ පොරවයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය.
8. 1. 3.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) සිරුර විවෘත කරගෙන (කර ඇට හා පපුව පෙනෙන සේ) ගම ඇතුළෙහි යති -පෙ-
“මනාව සිරුර වසාගෙන ගම ඇතුළෙහි යන්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සිරුර වසාගත් අය විසින් ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය.
8. 1. 4.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“මනාව සිරුර වසාගෙන ගම ඇතුළෙහි හිඳින්නෙමි යි හික්මිය යුතුය.”
2. මනාව සිරුර වසාගත් අය විසින් ගම ඇතුළෙහි හිඳිය යුතුය. යමෙක් අනාදරය නිසා සිරුර විවෘත කරගෙන ගම ඇතුළෙහි හිඳියි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, වාසය සඳහා (ගෙයක) නැවතී සිටින්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සිව්වන ශික්ෂාපදය.