6. 5. 8.
උය්‍යුත්තසේනා ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ප්‍රසේනජිත් කෝසල රජතුමා (සතුරු සේනාවට මුහුණ දීමට යන්නෙමි යි නුවරින්) සේනාව සමඟ නික්ම ගොස් සිටියේය. ෂඩ්වර්ගික භික්ෂූන් (සය දෙනෙකුගෙන් යුත් භික්ෂු පිරිස) යුද්ධයට නික්මුණු සේනාව දකින්නට ගියහ. ප්‍රසේනජිත් කෝසල රජතුමා එන්නා වූ ෂඩ්වර්ගික භික්ෂූන් දුර සිටම දුටුවේය. දැක ඔවුන් කැඳවා මෙසේ කීවේය: “ස්වාමීනි, ඔබවහන්සේලා කුමක් සඳහා පැමිණියේද?” “අපි මහරජතුමා දකින්නට කැමැත්තෙමු.” “ස්වාමීනි, යුද්ධයට කැමැත්ත දක්වන මා දැකීමෙන් කවර වැඩක්ද? දැකිය යුත්තේ භාග්‍යවතුන් වහන්සේ නොවේද?”
2. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් යුද්ධයට නික්මුණු සේනාව දකින්නට පැමිණෙන්නේ කෙසේද? ජීවිකාව නිසා, අඹුදරුවන් නිසා සේනාවට යන අපට ද මෙය අලාභයකි. අපට ද මෙය අවාසනාවකි.” භික්ෂූන් හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂූන් සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂූන් යුද්ධයට නික්මුණු සේනාව දකින්නට යන්නේ කෙසේද?” -පෙ- “මහණෙනි, ඔබ යුද්ධයට නික්මුණු සේනාව දකින්නට යන බව සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ යුද්ධයට නික්මුණු සේනාව දකින්නට යන්නේ කෙසේද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් යුද්ධයට නික්මුණු සේනාවක් දකින්නට යන්නේ නම් පාචිත්තිය වේ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.
3. එකල්හි එක්තරා භික්ෂුවකගේ මාමා කෙනෙක් සේනාවේ සිටියදී ලෙඩ වී සිටියේය. ඔහු ඒ භික්ෂුව වෙත පණිවිඩකරුවෙකු එවීය: “මම සේනාවේ සිටියදී ලෙඩ වී සිටිමි. ඔබවහන්සේ වඩින සේක්වා. ඔබවහන්සේගේ පැමිණීම මම කැමැත්තෙමි.” එවිට ඒ භික්ෂුවට මෙසේ සිතිණ: “‘යුද්ධයට නික්මුණු සේනාව දකින්නට නොයා යුතුය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට ශික්ෂාපදයක් පනවා ඇත. මාගේ මේ මාමා ද සේනාවේ සිටියදී ලෙඩ වී සිටියි. මා කෙසේ පිළිපැදිය යුතුද?” ඔහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිදී, මේ අවස්ථාවෙහිදී ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා වදාළ සේක: “මහණෙනි, එබඳු කරුණක් ඇති විට සේනාවට යන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් එබඳු කරුණක් හැර යුද්ධයට නික්මුණු සේනාවක් දකින්නට යන්නේ නම් පාචිත්තිය වේ.
4. යො පන: යමෙක්, යම් ආකාරයක -පෙ- භික්ඛු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහුය.
උය්‍යුත්තා (යුද්ධයට නික්මුණු) නම්: සේනාව ගමින් නික්ම කඳවුරු බැඳ සිටියි හෝ, ගමන් කරමින් සිටියි හෝ වේ.
සේනා නම්: ඇතුන්, අසුන්, රථ, පාබළ ය. පුරුෂයන් දොළොස් දෙනෙකු ඇති ඇතෙක් (ඇතු පිට නැගී සිටින සිව් දෙනෙක් ද, එක් එක් පාදය රකින දෙදෙනා බැගින් ද), පුරුෂයන් තිදෙනෙකු ඇති අසෙක් (අසු පිට නැගී සිටින එක් අයෙක් ද, පා රකින දෙදෙනෙක් ද), පුරුෂයන් සිව් දෙනෙකු ඇති රථයක් (රියැදුරෙක් ද, යුද භටයෙක් ද, රෝද ඇණ රකින දෙදෙනෙක් ද), දුනු හී අතට ගත් පුරුෂයන් සිව් දෙනෙක් යනු පත්ති (පාබළ) යි. දකින්නට යයි නම් දුක්කට ඇවැත වේ. යම් තැනක සිට බලයි නම් පාචිත්තිය ඇවැත වේ. දැකිය හැකි සීමාව (දස්සනූපචාරය) හැර දමා (වෙනත් තැනකට ගොස්) නැවත නැවත බලයි නම් පාචිත්තිය ඇවැත වේ.
අඤ්ඤත්‍ර තථාරූපප්පච්චයා: එබඳු කරුණක් හැර.
යුද්ධයට නික්මුණු සේනාවක් ගැන යුද්ධයට නික්මුණු සේනාවක් යැයි සිතන්නේ එබඳු කරුණක් හැර දකින්නට යයි නම් පාචිත්තිය ඇවැත වේ. යුද්ධයට නික්මුණු සේනාවක් ගැන සැක ඇත්තේ එබඳු කරුණක් හැර දකින්නට යයි නම් පාචිත්තිය ඇවැත වේ. යුද්ධයට නික්මුණු සේනාවක් ගැන යුද්ධයට නොනික්මුණු සේනාවක් යැයි සිතන්නේ එබඳු කරුණක් හැර දකින්නට යයි නම් පාචිත්තිය ඇවැත වේ.
(ඇතුන් ආදී කොටස් සතරෙන්) එකක් එකක් (අඩුම තරමින් එක් අයෙකු නැගී සිටින ඇතෙකු හෝ දුනු හී අතට ගත් එක් පුරුෂයෙකු හෝ) දකින්නට යයි නම් දුක්කට ඇවැත වේ. යම් තැනක සිට බලයි නම් දුක්කට ඇවැත වේ. දැකිය හැකි සීමාව හැර දමා නැවත නැවත බලයි නම් දුක්කට ඇවැත වේ.