6. 5. 9.
සේනාවාස ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කළ සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් කළ යුතු කටයුත්තක් ඇති විට සේනාව වෙත ගොස් තුන් රැයකට වඩා සේනාවෙහි වාසය කරති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ කෙසේ නම් සේනාවෙහි වාසය කරන්නෝ ද? ජීවිකාව නිසා, අඹුදරුවන් නිසා සේනාවෙහි වාසය කරන අපට ද එය අලාභයකි, අපට ද එය අවාසනාවකි.”
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිමත් වචන) භික්ෂූන්ට ඇසුණි. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂූන් සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂූන් කෙසේ නම් තුන් රැයකට වඩා සේනාවෙහි වාසය කරන්නෝ ද?” කියා. -පෙ- “මහණෙනි, ඔබ තුන් රැයකට වඩා සේනාවෙහි වාසය කරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් තුන් රැයකට වඩා සේනාවෙහි වාසය කරන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ඒ භික්ෂුවට සේනාවට යාම පිණිස කිසියම් හේතුවක් ඇත්තේ නම්, ඒ භික්ෂුව විසින් දෙතුන් රැයක් සේනාවෙහි වාසය කළ යුතුයි. ඉදින් ඊට වඩා වාසය කරයි නම් පාචිත්තිය වේ.”
3. සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො සේනං ගමනාය (ඒ භික්ෂුවට සේනාවට යාම පිණිස කිසියම් හේතුවක් ඇත්තේ නම්): හේතුවක් ඇත්තේ නම්, කළ යුතු කටයුත්තක් ඇත්තේ නම්.
දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සේනාය වසිතබ්බං (ඒ භික්ෂුව විසින් දෙතුන් රැයක් සේනාවෙහි වාසය කළ යුතුයි): දෙතුන් රැයක් වාසය කළ යුතුයි.
තතො චෙ උත්තරිං වසෙය්ය (ඉදින් ඊට වඩා වාසය කරයි නම්): හතරවන දිනයෙහි හිරු බැස ගිය විට සේනාවෙහි වාසය කරයි නම් පාචිත්තිය ඇවැත වේ. තුන් රැයකට වඩා වූ විට, වැඩියි යැයි සිතමින් සේනාවෙහි වාසය කරයි නම් පාචිත්තිය ඇවැත වේ. තුන් රැයකට වඩා වූ විට, ඒ ගැන සැක ඇතිව සේනාවෙහි වාසය කරයි නම් පාචිත්තිය ඇවැත වේ. තුන් රැයකට වඩා වූ විට, අඩුයි යැයි සිතමින් සේනාවෙහි වාසය කරයි නම් පාචිත්තිය ඇවැත වේ.
4. තුන් රැයකට අඩු විට, වැඩියි යැයි සිතන්නේ නම් දුක්කට ඇවැත වේ. තුන් රැයකට අඩු විට, ඒ ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත වේ. තුන් රැයකට අඩු විට, අඩුයි යැයි සිතන්නේ නම් ඇවැත් නැත.
5. ඇවැත් නැත: දෙතුන් රැයක් වාසය කරයි නම්, දෙතුන් රැයකට අඩුවෙන් වාසය කරයි නම්, දෙරැයක් වාසය කොට තුන්වන රාත්‍රියේ අරුණ නැගීමට පෙර නික්ම ගොස් නැවත වාසය කරයි නම්, ගිලන්ව සිට වාසය කරයි නම්, ගිලනෙකුගේ කටයුත්තක් නිසා වාසය කරයි නම්, සේනාව විරුද්ධ සේනාවකින් (ගමන් බිමන් කපා දමන ලෙස) වට කරනු ලැබ සිටී නම්, කිසිවකු විසින් වළක්වනු ලැබ සිටී නම්, ආපදාවලදී නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවැනි සේනාවාස ශික්ෂාපදය නිමි.
6. 5. 10.
උය්‍යෝධික ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කළ සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් දෙතුන් රැයක් සේනාවෙහි වාසය කරමින් යුද බිමට ද, සේනා බලය ගණන් කරන තැනට ද, සේනා කඳවුරු බැඳි තැනට ද, සේනා පෙළ බැලීමට ද යති. එක් ෂඩ්වර්ගික භික්ෂුවක් යුද බිමට ගොස් ඊතලයකින් විදිනු ලැබීය. මිනිස්සු ඒ භික්ෂුව දැක සමච්චල් කළහ: “කිම, ස්වාමීනි? හොඳ යුද්ධයක් වී ද? ඔබ වහන්සේට ඉලක්ක කීයක් ලැබුණා ද?” ඒ මිනිසුන් විසින් සමච්චල් කරනු ලැබූ ඒ භික්ෂුව ලජ්ජාවට පත් විය.