අචේලක වර්ගය
6. 5. 1.
අචේලක ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා නුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කරන සේක. එකල සංඝයාට කැවිලි බොහෝ සෙයින් ලැබී තිබුණි. එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “එසේ නම් ආනන්දය, ඉඳුල් කන අයට කැවුම් දෙන්න.” “එසේය ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඉඳුල් කන අය පිළිවෙළින් හිඳුවා එක් එක් කැවුම බැගින් දෙමින්, එක්තරා පිරිවැජිනියකට (පැවිදි වූ අන්‍ය ආගමික කාන්තාවකට) එකක් යැයි සිතා කැවුම් දෙකක් දුන්හ. අවට සිටි පිරිවැජිනියෝ ඒ පිරිවැජිනියට මෙසේ කීහ: “මේ ශ්‍රමණයා ඔබේ රහස් සැමියා ද?” “මේ ශ්‍රමණයා මගේ රහස් සැමියා නොවේ. එකක් යැයි සිතා කැවුම් දෙකක් දුන්නා විය යුතුය.” දෙවන වරටත් -පෙ- තුන්වන වරටත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ එක් එක් කැවුම බැගින් දෙමින් ඒ පිරිවැජිනියටම එකක් යැයි සිතා කැවුම් දෙකක් දුන්හ. අවට සිටි පිරිවැජිනියෝ ඒ පිරිවැජිනියට මෙසේ කීහ: “මේ ශ්‍රමණයා ඔබේ රහස් සැමියා ද?” “මේ ශ්‍රමණයා මගේ රහස් සැමියා නොවේ. එකක් යැයි සිතා කැවුම් දෙකක් දුන්නා විය යුතුය.” “රහස් සැමියා ය, රහස් සැමියා නොවේ” යි ඔවුහු වාද කළහ.
2. එක්තරා ආජීවකයෙක් ද දන් බෙදන තැනට ගියේය. එක්තරා භික්ෂුවක් බොහෝ ගිතෙල් සමඟ බත් අනා විශාල පිඬක් ඒ ආජීවකයාට දුන්නේය. එවිට ඒ ආජීවකයා ඒ බත් පිඬ රැගෙන ගියේය. එක්තරා ආජීවකයෙක් ඒ ආජීවකයාට මෙසේ කීය: “ඇවැත්නි, ඔබට මේ බත් පිඬ ලැබුණේ කොහෙන් ද?” “ඇවැත්නි, ඒ මුඩු ගෘහපතියා වූ ශ්‍රමණ ගෞතමයාගේ දන් බෙදන තැනින් ලැබුණි.” උපාසකවරු ඒ ආජීවකයන්ගේ මේ කතාබහ ඇසූහ. එවිට ඒ උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හුන් ඒ උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ: “ස්වාමීනි, මේ තීර්ථකයෝ (අන්‍ය ආගමිකයෝ) බුදුරජුන්ට ගරහන්නට කැමති වෙති, ධර්මයට ගරහන්නට කැමති වෙති, සංඝයාට ගරහන්නට කැමති වෙති. ස්වාමීනි, ආර්යයන් වහන්සේලා තීර්ථකයන්ට තම අතින් යමක් නොදෙන්නේ නම් මැනවි.” එවිට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කතාවෙන් ඒ උපාසකයන්ට (මෙලොව පරලොව යහපත) මැනවින් පෙන්වා දුන් සේක, (කුසල් දහම්හි) සමාදන් කරවූ සේක, මැනවින් උත්සාහවත් කළ සේක, මැනවින් සතුටු කළ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් මැනවින් පෙන්වා දෙන ලද, සමාදන් කරවන ලද, උත්සාහවත් කරන ලද, සතුටු කරන ලද ඒ උපාසකවරු අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිදී, මේ අවස්ථාවෙහිදී ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක. “එසේ නම් මහණෙනි, කරුණු දහයක් නිසා භික්ෂූන්ට ශික්ෂාපදය පනවන්නෙමි. සංඝයාගේ මනා පිළිගැනීම, සංඝයාගේ පහසුව -පෙ- සද්ධර්මයේ පැවැත්ම, විනයට උපකාර වීම පිණිසය. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් නිරුවත් තවුසකුට (අචේලකයකුට) හෝ පිරිවැජියකුට හෝ පිරිවැජිනියකට හෝ තම අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු භෝජනයක් හෝ දෙන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
4. යො පන යනු: යම් කෙනෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය. අචේලක නම්: පැවිදි බවට පැමිණි යම් කිසි නිරුවත් තැනැත්තෙකි. පරිබ්බාජක නම්: භික්ෂුව ද සාමණේරයා ද හැර පැවිදි බවට පැමිණි යම් කිසි තැනැත්තෙකි. පරිබ්බාජිකා නම්: භික්ෂුණිය ද ශික්ෂමානාව ද සාමණේරිය ද හැර පැවිදි බවට පැමිණි යම් කිසි කාන්තාවකි. ඛාදනීය නම්: පස් වැදෑරුම් භෝජනය ද දැහැටි හා පැන් ද හැර ඉතිරි දේ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත්, කොමු පිඬු (යවවලින් සාදන ආහාරයක්), සත්තු පිටි, මාළු, මස් යන පස් වැදෑරුම් භෝජනයයි. දදෙය්ය යනු: ශරීරයෙන් හෝ ශරීරයට බැඳුණු දෙයකින් හෝ අතහැර දැමීමෙන් හෝ දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.
තීර්ථකයා කෙරෙහි තීර්ථකයෙකු යැයි හඟිමින් තම අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු භෝජනයක් හෝ දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ. තීර්ථකයා කෙරෙහි සැක ඇතිව තම අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු භෝජනයක් හෝ දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ. තීර්ථකයා කෙරෙහි තීර්ථකයෙකු නොවේ යැයි හඟිමින් තම අතින් කෑ යුතු දෙයක් හෝ අනුභව කළ යුතු භෝජනයක් හෝ දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.
දැහැටි හා පැන් දෙයි නම් දුක්කට ඇවැත් වේ. තීර්ථකයෙකු නොවන අයෙකු කෙරෙහි තීර්ථකයෙකු යැයි හඟින්නේ නම් දුක්කට ඇවැත් වේ. තීර්ථකයෙකු නොවන අයෙකු කෙරෙහි සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. තීර්ථකයෙකු නොවන අයෙකු කෙරෙහි තීර්ථකයෙකු නොවේ යැයි හඟින්නේ නම් ඇවැත් නැත.
ඇවැත් නැත: (උපසම්පදා නොලත් අයෙකු ලවා) දෙවයි නම්, තමා නොදෙයි නම්, ළඟින් තබා දෙයි නම්, ශරීරයේ පිටතින් ආලේප කරන දෙයක් දෙයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවැනි අචේලක ශික්ෂාපදය නිමි.