6. 3. 2.
අත්ථඞ්ගත ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ස්ථවිර භික්ෂූන් වහන්සේලා වාරයෙන් වාරයට, පිළිවෙළින් භික්ෂුණීන්ට අවවාද දෙති. එසමයෙහි භික්ෂුණීන්ට අවවාද දීමට ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන්ගේ වාරය විය. භික්ෂුණීහු මෙසේ කීහ: “අද නම් අවවාදය සාර්ථක නොවන්නේය. ආර්ය චුල්ලපන්ථක තෙරුන් දැනුත් ඒ උදානයම නැවත නැවත කියනු ඇත.”
2. එකල ඒ භික්ෂුණීහු ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන්ට මනාකොට වැඳ එක් පැත්තක හිඳගත්හ. එක් පැත්තක හුන් ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් මෙය කීහ:
“නැගණියනි, (ඔබ) සියලු දෙනාම මෙහි පැමිණියාහු ද?”
“ආර්යයන් වහන්ස, අපි සියලු දෙනාම මෙහි පැමිණියෙමු.”
“නැගණියනි, ගරුධර්ම අට (ඔබ තුළ) පවතී ද?”
“ආර්යයන් වහන්ස, (අප තුළ) පවතී.”
“නැගණියනි, මෙය අවවාදයයි” කියා මේ උදානය නැවත නැවත කීහ:
“අරහත් ඵල සිතින් යුතු වූ, ප්‍රමාද නොවූ, මෝනය යැයි කියන ඥානයෙන් හික්මුණු, තාදී (කිසිවකින් නොසැලෙන) වූ, (රාගය ආදිය සංසිඳීමෙන්) සංසුන් වූ, සිහියෙන් යුතු වූ ක්ෂීණාශ්‍රව (කෙලෙස් නැති කළ) මුනිවරයාට කිසි කලෙක ශෝක ඇති නොවන්නේය.”
3. භික්ෂුණීහු මෙසේ කීහ: “‘අද නම් අවවාදය සාර්ථක නොවන්නේය, දැනුත් ආර්ය චුල්ලපන්ථක තෙරුන් ඒ උදානයම නැවත නැවත කියනු ඇත’ යි (අපි) නොකීවෙමු ද?” ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් ඒ භික්ෂුණීන්ගේ මේ කතාබහ ඇසූහ. එකල ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් අහසට පැන නැගී, අන්තරීක්ෂය නම් වූ අහසෙහි සක්මන් ද කරති, සිටිති ද, හිඳිති ද, සැතපෙති ද, දුම් දමති ද, දිලිසෙති ද, නොපෙනී යති ද. ඒ උදානයත් අන් බොහෝ බුද්ධවචනත් කියති.
භික්ෂුණීහු මෙසේ කීහ: “පින්වත්නි, ඒකාන්තයෙන්ම ආශ්චර්යයකි. පින්වත්නි, ඒකාන්තයෙන්ම අද්භූතයකි (පුදුම සහගතයි). ආර්ය චුල්ලපන්ථක තෙරුන්ගේ අවවාදය මෙන් මෙබඳු අවවාදයක් මීට පෙර අපට නොලැබුණේය; මෙබඳු සාර්ථක අවවාදයක් මීට පෙර කිසි දිනෙක නොවීය.”
4. එකල ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් ඒ භික්ෂුණීන්ට අඳුර වැටෙන තුරු අවවාද දී, “නැගණියනි, යන්න” යි පිටත් කර යැවූහ. එවිට ඒ භික්ෂුණීහු නුවර දොරටු වසා තිබූ බැවින් නුවරින් පිටත රැය ගත කර, උදෑසනම නුවරට ඇතුළු වෙති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “මේ භික්ෂුණීහු බඹසර නොරකින්නියෝය. ආරාමයෙහි භික්ෂූන් සමඟ රැය ගත කර දැන් නුවරට ඇතුළු වෙති.”
5. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිමත් කතාව) භික්ෂූහු ඇසූහ. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් හිරු බැස ගිය කල භික්ෂුණීන්ට අවවාද දෙන්නාහු ද?” -පෙ- “චුල්ලපන්ථකය, ඔබ හිරු බැස ගිය කල භික්ෂුණීන්ට අවවාද දෙන බව සැබෑ ද?”
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.”
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “චුල්ලපන්ථකය, කෙසේ නම් ඔබ හිරු බැස ගිය කල භික්ෂුණීන්ට අවවාද දෙන්නෙහි ද? චුල්ලපන්ථකය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ඉදින් සම්මත කරන ලද භික්ෂුවක් වුව ද හිරු බැස ගිය කල භික්ෂුණීන්ට අවවාද දෙන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
6. සම්මත නම්: ඥප්තිචතුර්ථ කර්මයෙන් (එක් යෝජනාවක් හා එය තුන් වරක් සංඝයාට කියා විමසීම ඇති සංඝ කර්මයෙන්) සම්මත කරන ලද්දේ ය.
අත්ථඞ්ගතෙ සූරියෙ යනු: හිරු බැස ගිය කල ය.
භික්ෂුණිය නම්: භික්ෂු සංඝයා හා භික්ෂුණී සංඝයා යන දෙපිරිස කෙරෙහිම උපසම්පදාව ලැබූ තැනැත්තිය ය.
අවවාද දෙන්නේ නම් යනු: ගරුධර්ම අටින් හෝ වෙනත් ධර්මයකින් හෝ අවවාද දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.