6. 3. 3.
භික්ඛුනූපස්සය ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කළ සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූහු (සය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) භික්ෂුණී ආරාමයට (මෙහෙණවරට) ගොස් ෂඩ්වර්ගික භික්ෂුණීන්ට අවවාද දෙති. භික්ෂුණීහු ෂඩ්වර්ගික භික්ෂුණීන්ට මෙසේ කීහ: “ආර්යාවෙනි, එන්න, අවවාදය ලැබීමට යමු.”
“ආර්යාවෙනි, අප අවවාදය ලැබීමට යම් තැනකට යන්නේ නම්, ඒ අවවාදය ෂඩ්වර්ගික භික්ෂූහු මෙහිදීම අපට දෙති” යි කීහ.
භික්ෂුණීහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීහු අවවාදය ලැබීමට නොයන්නාහු ද?” යි.
2. එකල්හි ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද දෙන්නාහු ද?” යි -පෙ-
“මහණෙනි, ඔබ භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද දෙන බව සැබෑ ද?”
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.”
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද දෙන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද දෙන්නේ නම් පාචිත්තිය වේ.”
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
3. එකල්හි මහාප්‍රජාපතී ගෞතමිය ගිලන් වූවා වෙයි. ස්ථවිර භික්ෂූහු මහාප්‍රජාපතී ගෞතමිය වෙත ගියහ. ගොස් මහාප්‍රජාපතී ගෞතමියට මෙසේ කීහ: “කිම ගෞතමිය, ඔබට ඉවසිය හැකි ද? යැපිය හැකි ද?”
“ආර්යයන් වහන්සේලා, මට ඉවසිය නොහැකි ය, යැපිය නොහැකි ය. ආර්යයන් වහන්සේලා දහම් දෙසනු මැනවි” යි කීවා ය.
“නැගණිය, භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට දහම් දෙසීම සුදුසු නොවේ” යි සැක කරමින් (දහම්) නොදෙසූහ.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි (උදේ වරුවෙහි) සිවුරු හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන මහාප්‍රජාපතී ගෞතමිය වෙත වැඩම කළ සේක. වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙසේ වදාළ සේක: “කිම ගෞතමිය, ඔබට ඉවසිය හැකි ද? යැපිය හැකි ද?”
“ස්වාමීනි, පෙර ස්ථවිර භික්ෂූහු පැමිණ මට දහම් දෙසති. එයින් මට පහසු වෙයි. දැන් වනාහි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් (එය) තහනම් කරන ලදී’ යි සැක කරමින් නොදෙසති. එයින් මට පහසු නොවේ” යි කීවා ය.
5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට ධර්ම කතාවෙන් කරුණු මැනවින් පෙන්වා, සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා අසුනෙන් නැගිට වැඩම කළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, භික්ෂුණී ආරාමයට ගොස් ගිලන් භික්ෂුණියට අවවාද දීමට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් සුදුසු අවස්ථාව හැර භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට අවවාද දෙන්නේ නම් පාචිත්තිය වේ. එහි මේ සුදුසු අවස්ථාව යි: භික්ෂුණියක් ගිලන් වූවා වේ නම් මේ එහි සුදුසු අවස්ථාව යි.”