6. 2. 9.
මහල්ලක විහාර ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ඡන්නයන්ට උපස්ථාන කරන මහාමාත්‍යවරයෙක් (ඇමතියෙක්) ආයුෂ්මත් ඡන්නයන්ට විහාරයක් කරවයි. එවිට ආයුෂ්මත් ඡන්නයෝ ඉදිකර නිම කළ විහාරය නැවත නැවත සෙවිලි කෙරෙව්වෝ ය. නැවත නැවත බදාම ගෑවූහ. ඉතා බර වූ විහාරය කඩා වැටිණි. එවිට ආයුෂ්මත් ඡන්නයෝ තණ ද දර ද ඇදගෙන රැස් කරමින් එක්තරා බමුණෙකුගේ යව කෙත විනාශ කළහ. එවිට ඒ බමුණා “කෙසේ නම් පින්වතුන් වහන්සේලා අපගේ යව කෙත විනාශ කරන්නාහු ද?” යි හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි. භික්ෂූන් වහන්සේලා හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ බමුණාගේ (අපකීර්ති වචනය) ඇසූහ.
2. යම් ඒ භික්ෂූන් වහන්සේලා අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්නයෝ ඉදිකර නිම කළ විහාරය නැවත නැවත සෙවිලි කරවන්නාහු ද? නැවත නැවත බදාම ගාන්නට සලස්වන්නාහු ද? ඉතා බර වූ විහාරය කඩා වැටිණි” යි -පෙ- “ඡන්න, ඔබ ඉදිකර නිම කළ විහාරය නැවත නැවත සෙවිලි කෙරෙව්වෙහි ද? නැවත නැවත බදාම ගෑවෙහි ද? ඉතා බර වූ විහාරය කඩා වැටිණි යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ ඉදිකර නිම කළ විහාරයක් නැවත නැවත සෙවිලි කරවන්නෙහි ද? නැවත නැවත බදාම ගාන්නට සලස්වන්නෙහි ද? ඉතා බර වූ විහාරය කඩා වැටිණි. හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“මහත් විහාරයක් කරවන භික්ෂුව විසින් දොර රාමුව (ද්වාරකෝසය) දක්වා දොරගුළු තබන පිණිස ද, කවුළු සැකසීම පිණිස ද (නැවත නැවත බදාම ගෑ යුතු ය). සෙවිලි කිරීමේ දෙවටයක් හෝ තුන්වටයක් බෝග වගා නැති තැනක සිට විධාන කළ යුතු ය. ඉදින් ඒ දෙතුන් වටයට වඩා, බෝග වගා නැති තැනක සිට වුව ද විධාන කරන්නේ නම් පාචිත්තිය වේ.”
3. මහල්ලක නම්: (කරවා දෙන) හිමියෙකු ඇති විහාරය යැයි කියනු ලැබේ. විහාරය නම්: ඇතුළත බදාම ගෑ හෝ පිටත බදාම ගෑ හෝ ඇතුළත පිටත දෙකෙහි ම බදාම ගෑ හෝ විහාරයකි.
කාරයමානෙන (කරවන) යනු: තමා කරන්නේ හෝ අනුන් ලවා කරවන්නේ හෝ ය.
යාවද්වාරකෝසා (දොර රාමුව දක්වා) යනු: දොර රාමුව අවට අත්පසක් දුර තෙක් ය.
අග්ගලට්ඨපනාය (දොරගුළු තබන පිණිස) යනු: දොරගුළු තහවුරු ව පැවතීම පිණිස ය.
ආලෝකසන්ධිපරිකම්මාය (කවුළු සැකසීම පිණිස) යනු: කවුළු සැකසීම පිණිස සුදු පාට කිරීම ය, කළු පාට කිරීම ය, ගෙරු පාට කිරීම ය, මල්වැල් රටා ය, ලියවැල් රටා ය, මකරදත් රටා ය, පඤ්චපටික (පටි පහේ රටා) ය (කරන්නට සුදුසු ය).
ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතේ ඨිතෙන අධිට්ඨාතබ්බං (සෙවිලි කිරීම පිළිබඳ ව දෙතුන් වටයක් බෝග වගා නැති තැනක සිට විධාන කළ යුතු ය) යනු: මෙහි හරිත නම්: පූර්වාන්න (ප්‍රධාන ධාන්‍ය) හා අපරාන්න (අනෙක් ධාන්‍ය) ය. ඉදින් හරිතයෙහි (බෝග වගා කළ බිමෙහි) සිටියේ විධාන කරයි නම් දුක්කට ඇවැත් වේ. මගින් (වට නොකොට කෙළින් ම) සෙවිලි කරන්නා විසින් මග දෙකක් විධාන කොට තුන්වැනි මග (කෙසේ සෙවිලි කළ යුතු දැ යි) අණ කොට පිටත්ව යා යුතු ය. වටයෙන් සෙවිලි කරන්නා විසින් වට දෙකක් විධාන කොට තුන්වැනි වටය අණ කොට පිටත්ව යා යුතු ය.