භූතගාම වර්ගය
6. 2. 1.
භූතගාම ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආළවි නුවර අග්ගාළව චෛත්‍යයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි ආළවි වැසි භික්ෂූහු අලුත් ඉදිකිරීම් කරමින් ගස් සිඳිති, සිඳවති. එක්තරා ආළවි වැසි භික්ෂුවක් ද ගසක් සිඳියි. ඒ ගසෙහි අරක්ගෙන සිටි දේවතාවිය ඒ භික්ෂුවට මෙසේ කීවාය: “ස්වාමීනි, ඔබට නිවසක් සාදා ගැනීමට කැමැතිව මාගේ නිවස නොසිඳිනු මැනවි.” ඒ භික්ෂුව (ඇයගේ වචනය) නොසලකා ගස සින්දේ ය. ඒ දේවතාවියගේ දරුවාගේ බාහුව ද සින්දේ ය. එවිට ඒ දේවතාවියට මේ සිත ඇති විය: “මම මේ භික්ෂුව මෙතැනදීම ජීවිතයෙන් තොර කරන්නේ නම් හොඳයි.” ඉක්බිති ඇයට මේ සිත ද ඇති විය: “මම මේ භික්ෂුව මෙතැනදීම ජීවිතයෙන් තොර කරන්නේ නම් එය මට සුදුසු නොවේමය. මම මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වන්නේ නම් හොඳයි.” ඉක්බිති ඒ දේවතාවිය භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූවාය.
“මැනවි, මැනවි දේවතාවිය, ඔබ ඒ භික්ෂුව ජීවිතයෙන් තොර නොකළේ ඉතා හොඳයි. දේවතාවිය, ඔබ අද ඒ භික්ෂුව ජීවිතයෙන් තොර කළේ නම්, බොහෝ පව් රැස් කරගන්නෙහි ය. දේවතාවිය, යන්න; අසවල් තැන හිස් ගසක් ඇත. එයට එළඹෙන්න.”
2. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ කෙසේ නම් ගස් සිඳින්නාහු ද, සිඳවන්නාහු ද? ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ කෙසේ නම් එක් ඉන්ද්‍රියයක් ඇති ජීවයට හිංසා කරන්නාහු ද?” හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂූහු ඇසූහ. යම් භික්ෂූන් කෙනෙක් අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආළවි වැසි භික්ෂූහු කෙසේ නම් ගස් සිඳින්නාහු ද, සිඳවන්නාහු ද?” -පෙ-
එකල්හි භාග්‍යවතුන් වහන්සේ -පෙ- “මහණෙනි, ඔබ ගස් සිඳින බවත් සිඳවන බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් ගස් සිඳින්නහු ද, සිඳවන්නහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු ගසෙහි ජීවයක් ඇතැයි හඟින්නෝ ය. හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“භූතගාමය (පොළොවෙහි පිහිටි තණකොළ, ගස්වැල් ආදිය) නැසීමෙහි පාචිත්තිය ඇවැත් වේ.”
3. භූතගාම නම්: බීජ වර්ග පහකි. මූලබීජ, ඛන්ධබීජ, ඵළුබීජ, අග්ගබීජ සහ පස්වැනි බීජබීජ ය.
මූලබීජ නම්: කහ, ඉඟුරු, වදකහ, හෙළ වදකහ, ඉවද, කුළුරෑණ, සුවඳ හොට, වම්මුතු ද, තවත් යම් බීජ වර්ගයෝ මුලෙහි උපදිත් ද, මුලෙහි හටගනිත් ද, මේ සියල්ල මූලබීජ නම් වේ.
ඛන්ධබීජ නම්: ඇහැටු, නුග, පුලිල, දිඹුල්, කලහ, ගිවුළු ද, තවත් යම් බීජ වර්ගයෝ කඳෙහි උපදිත් ද, කඳෙහි හටගනිත් ද, මේ සියල්ල ඛන්ධබීජ නම් වේ.
ඵළුබීජ නම්: උක්, උණ, බට ද, තවත් යම් බීජ වර්ගයෝ පුරුකෙහි උපදිත් ද, පුරුකෙහි හටගනිත් ද, මේ සියල්ල ඵළුබීජ නම් වේ.
අග්ගබීජ නම්: අඳුතලා, මුරුවා, හිරිවේරිය ද, තවත් යම් බීජ වර්ගයෝ අගෙහි (මුදුනෙහි) උපදිත් ද, අගෙහි හටගනිත් ද, මේ සියල්ල අග්ගබීජ නම් වේ.
බීජබීජ නම්: හැල්, වී ආදී පුබ්බණ්ණ ධාන්‍ය ද, මුං, උඳු ආදී අපරණ්ණ ධාන්‍ය ද, තවත් යම් බීජ වර්ගයෝ ඇටයෙහි උපදිත් ද, ඇටයෙහි හටගනිත් ද, මේ සියල්ල බීජබීජ නම් වේ.
බීජයක් බීජයක් යැයි සිතා සිඳින්නේ හෝ සිඳවන්නේ හෝ බිඳින්නේ හෝ බිඳවන්නේ හෝ පිසින්නේ හෝ පිසවන්නේ හෝ නම් පාචිත්තිය ඇවැත් වේ. බීජයක් ගැන සැක ඇතිව සිඳින්නේ හෝ සිඳවන්නේ හෝ බිඳින්නේ හෝ බිඳවන්නේ හෝ පිසින්නේ හෝ පිසවන්නේ හෝ නම් දුක්කට ඇවැත් වේ. බීජයක් බීජයක් නොවේ යැයි සිතා සිඳින්නේ හෝ සිඳවන්නේ හෝ බිඳින්නේ හෝ බිඳවන්නේ හෝ පිසින්නේ හෝ පිසවන්නේ හෝ නම් ඇවැත් නැත.
බීජ නොවන දෙයක් බීජයක් යැයි සිතන්නේ නම් දුක්කට ඇවැත් වේ. බීජ නොවන දෙයක් ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. බීජ නොවන දෙයක් බීජයක් නොවේ යැයි සිතන්නේ නම් ඇවැත් නැත.
ඇවැත් නැත: “මෙය දැනගන්න, මෙය දෙන්න, මෙය ගෙනෙන්න, මෙයින් වැඩක් ඇත, මෙය කැප කරන්න” යි කියයි නම්, නොසිතා (ගල්, ගස් ආදිය පෙරළන විට, අතු අදින විට, හෝ සැරයටියෙන් පොළොවට ගසමින් යන විට තණකොළ සිඳෙන්නාට), සිහියෙන් තොරව (වෙනත් දෙයක සිත යොදා කෙනෙකු සමඟ කතා කරමින් සිටියදී පාදයෙන් හෝ අතින් තණකොළ, වැල් සිඳින්නාට), නොදන්නාට, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවැනි භූතගාම ශික්ෂාපදය යි.