6. 2. 10.
සප්පාණක ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අළව් නුවර අග්ගාලව චෛත්‍යයෙහි වැඩ වසන සේක. එකල අළව් නුවර වැසි භික්ෂූන් නව කර්මාන්ත (ඉදිකිරීම් වැඩ) කරමින්, ජලයේ පණුවන් සිටින බව දැන දැනම ඒ ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසිති; ඉස්සවති ද.
2. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් අළව් නුවර වැසි භික්ෂූන් ජලයේ පණුවන් සිටින බව දැන දැනම ඒ ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසින්නේ ද? ඉස්සවන්නේ ද?” කියා. -පෙ- “මහණෙනි, ඔබ ජලයේ පණුවන් සිටින බව දැන දැනම ඒ ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසින බවත්, ඉස්සවන බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ ජලයේ පණුවන් සිටින බව දැන දැනම ඒ ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසින්නහු ද? ඉස්සවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් ජලයේ පණුවන් සිටින බව දැන දැනම ඒ ජලය තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසින්නේ නම් හෝ ඉස්සවන්නේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ” යනුයි.
3. යෝ පන යනු: යම් කෙනෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහුය.
ජානාති (දනී) යනු: තමා හෝ දනී; නැතහොත් අන් අය හෝ ඔහුට දන්වති.
සිඤ්චෙය්‍ය (ඉසින්නේ නම්) යනු: තමා ඉසී නම් පාචිත්තිය ඇවැත් වේ. සිඤ්චාපෙය්‍ය (ඉස්සවන්නේ නම්) යනු: අනෙකෙකුට අණ කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. එක් වරක් අණ කරන ලද තැනැත්තා බොහෝ වාර ඉසී නමුත් (අණ කළ තැනැත්තාට) එක් පාචිත්තිය ඇවතක් වේ.
පණුවන් ඇති ජලයෙහි, පණුවන් ඇතැයි හඟිමින් තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසී නම් හෝ ඉස්සවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. පණුවන් ඇති ජලයෙහි, සැක ඇතිව තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසී නම් හෝ ඉස්සවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. පණුවන් ඇති ජලයෙහි, පණුවන් නැතැයි හඟිමින් තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසී නම් හෝ ඉස්සවයි නම් හෝ ඇවැත් නැත.
පණුවන් නැති ජලයෙහි පණුවන් ඇතැයි හඟින්නේ නම් දුක්කට ඇවැත් වේ. පණුවන් නැති ජලයෙහි සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. පණුවන් නැති ජලයෙහි පණුවන් නැතැයි හඟින්නේ නම් ඇවැත් නැත.
ඇවැත් නැත: නොසිතා කරන්නාට ද, සිහි නැතිව කරන්නාට ද, නොදැන කරන්නාට ද, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවැනි සප්පාණක ශික්ෂාපදය නිමි.
දෙවැනි භූතගාම වර්ගය නිමි.
එහි සාරාංශය (උද්දානය):
භූතගාම, අඤ්ඤවාදක, උජ්ඣාපනක, බැහැර යන්නා නිසා පැනවූ ඒ පළමු හා දෙවැනි සේනාසන ශික්ෂාපද දෙක, (කලින් පැමිණ සිටි තැනැත්තා ගැන වූ) අනුපඛජ්ජ, නික්කඩ්ඪන, (ගැලවෙන පාද ඇති ඇඳ පුටු ගැන වූ) වේහාසකුටි, (දොර රාමුව ගැන වූ) මහල්ලකවිහාර, සප්පාණක යන මේවා ය.