6. 2. 8.
වේහාසකුටි ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල සංඝයාට අයත් විහාරයක, උඩුමහලක් ඇති කුටියක භික්ෂූන් දෙනමක් වාසය කළහ. එක් නමක් යට මහලෙහි වාසය කරයි. එක් නමක් උඩුමහලෙහි වාසය කරයි. උඩුමහලෙහි සිටි භික්ෂුව ඇඳ රාමුවට (ඇඳවතට) සවි කළ පා ඇති ඇඳක වේගයෙන් හිඳ ගත්තේ ය. ඇඳේ පය ගැලවී වැටී, යට සිටි භික්ෂුවගේ හිස මත වැදුණේ ය. ඒ භික්ෂුව වේදනාවෙන් කෑ ගැසුවේ ය. භික්ෂූන් දුව අවුත් ඒ භික්ෂුවට “ඇවැත්නි, ඔබ කුමක් නිසා කෑ ගැසුවේ දැ”යි කීහ. එවිට ඒ භික්ෂුව භික්ෂූන්ට මේ කරුණ දැන්වී ය.
2. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂුවක් සංඝයාට අයත් විහාරයක, උඩුමහලක් ඇති කුටියක ඇඳ රාමුවට සවි කළ පා ඇති ඇඳක වේගයෙන් හිඳ ගන්නේ දැ”යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණ, ඔබ සංඝයාට අයත් විහාරයක, උඩුමහලක් ඇති කුටියක ඇඳ රාමුවට සවි කළ පා ඇති ඇඳක වේගයෙන් හිඳ ගත් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ සංඝයාට අයත් විහාරයක, උඩුමහලක් ඇති කුටියක ඇඳ රාමුවට සවි කළ පා ඇති ඇඳක වේගයෙන් හිඳ ගත්තෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් සංඝයාට අයත් විහාරයක, උඩුමහලක් ඇති කුටියක, ඇඳ රාමුවට සවි කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳ ගන්නේ නම් හෝ වැතිරෙන්නේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ” යනුයි.
3. යො පන (යම්): යමෙක්, යම් ආකාර වූවෙක් -පෙ- භික්ඛු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
සඞ්ඝික විහාරය (සංඝයාට අයත් විහාරය) නම්: සංඝයාට දෙන ලද, පරිත්‍යාග කරන ලද විහාරයයි.
වේහාසකුටි (උඩුමහල් කුටිය) නම්: මධ්‍යම උසැති පුරුෂයෙකුගේ හිස නොගැටෙන තැනයි.
ආහච්චපාදක (රාමුවට සවි කළ පා ඇති) ඇඳ නම්: ඇඳ රාමුවෙහි (ඇඳවතෙහි) සිදුරු විද පා සවි කොට තබන ලද ඇඳයි.
ආහච්චපාදක (රාමුවට සවි කළ පා ඇති) පුටුව නම්: පුටු රාමුවෙහි සිදුරු විද පා සවි කොට තබන ලද පුටුවයි.
අභිනිසීදෙය්‍ය (හිඳ ගන්නේ නම්): එහි හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ.
අභිනිපජ්ජෙය්‍ය (වැතිරෙන්නේ නම්): එහි වැතිරේ නම් පාචිත්තිය ඇවැත් වේ.
සංඝයාට අයත් විහාරයක් සංඝයාට අයත් යැයි හඟිමින්, උඩුමහල් කුටියෙහි ඇඳ රාමුවට සවි කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳ ගනී නම් හෝ වැතිරේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. සංඝයාට අයත් විහාරයක් ගැන සැක ඇත්තේ -පෙ- සංඝයාට අයත් විහාරයක් පුද්ගලයෙකුට අයත් යැයි හඟිමින්, උඩුමහල් කුටියෙහි ඇඳ රාමුවට සවි කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳ ගනී නම් හෝ වැතිරේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
පුද්ගලයෙකුට අයත් විහාරයක් සංඝයාට අයත් යැයි හඟින්නේ නම් දුක්කට ඇවැත් වේ. පුද්ගලයෙකුට අයත් විහාරයක් ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. පුද්ගලයෙකුට අයත් විහාරයක් පුද්ගලයෙකුට අයත් යැයි හඟින්නේ, අනෙකෙකුට අයත් විහාරයෙහි නම් දුක්කට ඇවැත් වේ. තමාට ම අයත් විහාරයෙහි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: උඩුමහලක් නැති කුටියෙහි නම්, හිස ගැටෙන කුටියෙහි නම්, යට මහල පරිහරණය නොකෙරේ නම්, (උඩුමහලේ බිම) ලෑලිවලින් තදින් අතුරා ඇත්තේ නම්, (ඇඳ පුටුවල) පා මුදුනෙහි ඇණ ගසා ඇත්තේ නම්, එහි සිට යමක් ගනී නම් හෝ එල්ලයි නම් හෝ ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවැනි වේහාසකුටි ශික්ෂාපදය යි.
6. 2. 9.
මහල්ලක විහාර ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ඡන්නයන්ට උපස්ථාන කරන මහාමාත්‍යවරයෙක් (ඇමතියෙක්) ආයුෂ්මත් ඡන්නයන්ට විහාරයක් කරවයි. එවිට ආයුෂ්මත් ඡන්නයෝ ඉදිකර නිම කළ විහාරය නැවත නැවත සෙවිලි කෙරෙව්වෝ ය. නැවත නැවත බදාම ගෑවූහ. ඉතා බර වූ විහාරය කඩා වැටිණි. එවිට ආයුෂ්මත් ඡන්නයෝ තණ ද දර ද ඇදගෙන රැස් කරමින් එක්තරා බමුණෙකුගේ යව කෙත විනාශ කළහ. එවිට ඒ බමුණා “කෙසේ නම් පින්වතුන් වහන්සේලා අපගේ යව කෙත විනාශ කරන්නාහු ද?” යි හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි. භික්ෂූන් වහන්සේලා හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ බමුණාගේ (අපකීර්ති වචනය) ඇසූහ.