6. 2. 6.
අනුපඛජ්ජ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූහු කලින් ම ගොස් උතුම් සෙනසුන් අල්ලාගෙන සිටිති. ස්ථවිර භික්ෂූහු (වස් ගණනින් වැඩිමහල් බැවින්) ඔවුන් එයින් නැගිටුවති. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන්ට “කවර උපායකින් අපි මෙහි ම වස් වසන්නෙමු ද?” යන මේ සිතිවිල්ල ඇති විය. එවිට ෂඩ්වර්ගික භික්ෂූහු ‘යමෙකුට ඉඩකඩ මදි වී අපහසු වන්නේ නම් ඔහු බැහැර යනු ඇත’ යි සිතා ස්ථවිර භික්ෂූන් අතරට ඇතුළු වී සයනය කරති.
2. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔව්හු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු ස්ථවිර භික්ෂූන් අතරට ඇතුළු වී සයනය කරන්නාහු ද?” -පෙ- “මහණෙනි, ඔබ ස්ථවිර භික්ෂූන් අතරට ඇතුළු වී සයනය කරන්නහු ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ ස්ථවිර භික්ෂූන් අතරට ඇතුළු වී සයනය කරන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් සංඝයාට අයත් විහාරයක, දැන දැන ම, කලින් පැමිණ සිටි භික්ෂුවකගේ ඉඩට ඇතුළු වී, ‘යමෙකුට ඉඩකඩ මදි වී අපහසු වන්නේ නම් ඔහු බැහැර යනු ඇත’ යන මේ කරුණ ම මිස අන් කරුණක් නැතිව සයනය කරන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යො පන: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු යි.
සඞ්ඝික විහාරය නම්: සංඝයාට දෙන ලද, අත්හැර පූජා කරන ලද විහාරයකි.
ජානාති (දනී) නම්: වැඩිහිටියෙකැයි දනී, ගිලනෙකැයි දනී, සංඝයා විසින් (සෙනසුන) දෙන ලද්දෙකැයි දනී.
අනුපඛජ්ජ: අතරට ඇතුළු වී. සෙය්යං කප්පෙය්ය: ඇඳක හෝ පුටුවක හෝ අවට, හෝ (සෙනසුනට) ඇතුළු වන්නාගේ හෝ පිටවන්නාගේ හෝ (යන එන) ප්‍රදේශයෙහි (උපචාරයෙහි) ඇතිරිල්ලක් අතුරයි නම් හෝ අතුරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. එහි හිඳී නම් හෝ නිදයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං (මෙය ම කරුණු කොට, අන් කරුණක් නැතිව): අතරට ඇතුළු වී සයනය කිරීමට වෙනත් කිසිදු කරුණක් නැත.
සංඝයාට අයත් සෙනසුනක් සංඝයාට අයත් යැයි හඟිමින් අතරට ඇතුළු වී සයනය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. සංඝයාට අයත් සෙනසුනක් ගැන සැක ඇතිව අතරට ඇතුළු වී සයනය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. සංඝයාට අයත් සෙනසුනක් පුද්ගලයෙකුට අයත් යැයි හඟිමින් අතරට ඇතුළු වී සයනය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇඳක හෝ පුටුවක හෝ අවට, හෝ (සෙනසුනට) ඇතුළු වන්නාගේ හෝ පිටවන්නාගේ හෝ (යන එන) ප්‍රදේශය (උපචාරය) හැර වෙනත් තැනක ඇතිරිල්ලක් අතුරයි නම් හෝ අතුරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. එහි හිඳී නම් හෝ නිදයි නම් හෝ දුක්කට ඇවැත් වේ. විහාරයේ අවට ප්‍රදේශයෙහි හෝ උපස්ථාන ශාලාවෙහි හෝ මණ්ඩපයක හෝ ගසක් මුල හෝ එළිමහනක හෝ ඇතිරිල්ලක් අතුරයි නම් හෝ අතුරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. එහි හිඳී නම් හෝ නිදයි නම් හෝ දුක්කට ඇවැත් වේ.
පුද්ගලයෙකුට අයත් සෙනසුනක් සංඝයාට අයත් යැයි හඟින්නේ නම් දුක්කට ඇවැත් වේ. පුද්ගලයෙකුට අයත් සෙනසුනක් ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. පුද්ගලයෙකුට අයත් සෙනසුනක් පුද්ගලයෙකුට අයත් යැයි හඟින්නේ, අනෙකෙකුට අයත් සෙනසුනෙහි නම් දුක්කට ඇවැත් වේ. තමාට ම අයත් සෙනසුනෙහි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: ගිලන්ව ඇතුළු වෙයි නම්, සීතලෙන් හෝ රස්නයෙන් හෝ පීඩා විඳිමින් ඇතුළු වෙයි නම්, ආපදාවකදී ද, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවැනි අනුපඛජ්ජ ශික්ෂාපදය යි.