සෙනසුන් වත
7. එකල බොහෝ භික්ෂූන් එළිමහනෙහි හිඳ සිවුරු වැඩ (සිවුරු මැසීම ආදි කටයුතු) කරමින් සිටියහ. ෂඩ්වර්ගික භික්ෂූහු ඉදිරි මිදුලෙහි උඩු සුළඟට සෙනසුන් (ඇඳ පුටු ආදිය) ගසා දැමූහ. භික්ෂූහු දූවිල්ලෙන් වැකුණාහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ, ලද දෙයින් සතුටු වූ, පවට ලජ්ජා ඇති, වරදට බිය ඇති, ශික්ෂාවට කැමැති යම් භික්ෂූන් වහන්සේලා සිටියාහු ද, ඔවුහු “ෂඩ්වර්ගික භික්ෂූහු කෙසේ නම් ඉදිරි මිදුලෙහි උඩු සුළඟට සෙනසුන් ගසා දමත් ද? භික්ෂූහු දූවිල්ලෙන් වැකුණාහුය” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂූහු ඉදිරි මිදුලෙහි උඩු සුළඟට සෙනසුන් ගසා දැමූ බවත්, භික්ෂූහු දූවිල්ලෙන් වැකුණු බවත් කියනු ලැබේ. එය සැබෑ ද?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි භික්ෂූහු පිළිතුරු දුන්හ. -පෙ- භාග්‍යවතුන් වහන්සේ දැඩි ලෙස ගරහා, ධර්ම කතාවක් කොට, භික්ෂූන් අමතා, “මහණෙනි, එසේ නම් භික්ෂූන් සෙනසුනෙහි මනාව පැවතිය යුතු පරිදි, භික්ෂූන්ට සෙනසුන් වත පනවන්නෙමි” යි වදාරා, මතු දැක්වෙන වත පැනවූ සේක.
8. “යම් විහාරයක වාසය කරයි ද, ඒ විහාරය කුණු කසළ සහිත වී නම්, හැකි නම් එය පිරිසිදු කළ යුතුය. විහාරය පිරිසිදු කරන භික්ෂුව පළමුව පාත්‍රය හා සිවුරු පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. නිසීදනය (හිඳගන්නා ඇතිරිල්ල) ද ඇතිරිල්ල ද පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. මෙට්ටය ද කොට්ටය ද පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. ඇඳ පහත් කොට, දොර පළුවල නොගාමින්, නොගැටෙමින් මනාව පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. පුටුව පහත් කොට, දොර පළුවල නොගාමින්, නොගැටෙමින් මනාව පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. ඇඳේ පාද යට තබන අඩි පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. කෙළ පඩික්කම පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. පිට හේත්තු කරන පුවරුව පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය. බිම ඇතිරිල්ල එළා තිබුණු ආකාරය සලකා බලා, පිටතට ගෙන ගොස් එක් පසෙක තැබිය යුතුය.
ඉදින් විහාරයෙහි මකුළු දැල් ඇත්නම්, පළමුව උඩ සිට පහළට ඒවා ඉවත් කළ යුතුය. ජනෙල්වල ඇතුළත හා පිටත පළු ද කාමරයේ ඇතුළත කොන් හතර ද පිසදැමිය යුතුය. ඉදින් ගුරු මැටි ආලේප කළ බිත්තියෙහි කුණු පැල්ලම් ඇත්නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමිය යුතුය. ඉදින් කළු පැහැ කළ බිමෙහි කුණු පැල්ලම් ඇත්නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමිය යුතුය. ඉදින් බිම කළු පැහැ කරන ලද්දේ නම්, විහාරය දූවිල්ලෙන් නොවැකෙනු පිණිස දිය ඉස ඉස පිසදැමිය යුතුය. කසළ එකතු කොට එක් පසෙක දැමිය යුතුය. භික්ෂූන් ළඟ සෙනසුන් ගසා නොදැමිය යුතුය. විහාරය ළඟ සෙනසුන් ගසා නොදැමිය යුතුය. බොන පැන් ළඟ සෙනසුන් ගසා නොදැමිය යුතුය. පාවිච්චියට ගන්නා දිය ළඟ සෙනසුන් ගසා නොදැමිය යුතුය. ඉදිරි මිදුලෙහි උඩු සුළඟට සෙනසුන් ගසා නොදැමිය යුතුය. යටි සුළඟට සෙනසුන් ගසා දැමිය යුතුය.