8.
වත්තක්ඛන්ධකය
ආගන්තුක වත්
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අසල ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ ආගන්තුක භික්ෂූන් පාවහන් පැළඳගෙනත් ආරාමයට ඇතුළු වෙති. කුඩ ඉහළාගෙනත් ආරාමයට ඇතුළු වෙති. හිස වසා පොරවාගෙනත් ආරාමයට ඇතුළු වෙති. සිවුර හිසේ දමාගෙනත් ආරාමයට ඇතුළු වෙති. බීමට තිබූ වතුරෙනුත් පා සෝදති. ආවාසයේ සිටින වැඩිමහලු භික්ෂූන්ටත් නොවඳිති. සෙනසුන් (නවාතැන්) ගැන නොවිචාරති.
එක්තරා ආගන්තුක භික්ෂුවක් ද භික්ෂූන් කිසිවෙකු වාසය නොකළ (පාළු වූ) විහාරයකට අගුල ඉවත් කොට දොර විවෘත කොට ඉක්මනින් ඇතුළු විය. උළුවස්ස උඩ සිටි සර්පයෙක් ඒ භික්ෂුවගේ උරහිස මතට වැටුණේය. ඔහු බියට පත් වී කෑ ගැසීය. භික්ෂූන් ඔහු වෙතට දුවගෙන ඇවිත්, “ඇවැත්නි, ඔබ කුමට කෑ ගැසුවෙහි ද?” යි ඇසූහ. එවිට ඒ භික්ෂුව භික්ෂූන්ට මේ කාරණය දැන්වීය. අල්පේච්ඡ (ආශා අඩු), ලැබුණු පමණින් සතුටු වන, පවට ලැජ්ජා ඇති, ඉතා සුළු වරදකදීත් සැක කරන, ශික්ෂාවට කැමැති යම් භික්ෂූන් සිටියාද, ඔවුහු “කෙසේ නම් ආගන්තුක භික්ෂූන් පාවහන් පැළඳගෙනත් ආරාමයට ඇතුළු වෙත් ද? කුඩ ඉහළාගෙනත් ආරාමයට ඇතුළු වෙත් ද? -පෙ- සෙනසුන් ගැන නොවිචාරත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
ඉන්පසු ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළහ.
“මහණෙනි, ආගන්තුක භික්ෂූන් පාවහන් පැළඳගෙනත් ආරාමයට ඇතුළු වෙතියි ද -පෙ- සෙනසුන් ගැන නොවිචාරතියි ද කියනු ලැබේ. එය සැබෑ ද?” යි ඇසූ සේක.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි ඔවුහු පිළිතුරු දුන්හ.
බුදුරජාණන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ආගන්තුක භික්ෂූන් පාවහන් පැළඳගෙනත් ආරාමයට ඇතුළු වෙත් ද! -පෙ- සෙනසුන් ගැන නොවිචාරත් ද! මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ පැහැදුණු අයගේ පැහැදීම වැඩීම පිණිස හෝ හේතු නොවේ. එසේ නොව, මෙය නොපැහැදුණු අයගේ නොපැහැදීම පිණිසත්, පැහැදුණු ඇතැම් අයගේ සිත් වෙනස් වීම පිණිසත් පවතී” යි විශේෂයෙන් ගැරහූ සේක. එසේ ගරහා ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එසේ නම් ආගන්තුක භික්ෂූන් යම් සේ මනාව හැසිරිය යුතු ද, ඒ සඳහා ආගන්තුක භික්ෂූන්ට වත් පනවමි. මහණෙනි, ආගන්තුක භික්ෂුව ‘දැන් ආරාමයට ඇතුළු වන්නෙමි’ යි සලකා, පාවහන් ගලවා, පහත් කොට ගසා (දූවිලි ඉවත් කොට) අතට ගෙන, කුඩය ඉවත් කොට, හිස විවෘත කොට, හිසේ තිබූ සිවුර උරහිසට දමා, මනාව, ඉක්මන් නොවී ආරාමයට ඇතුළු විය යුතුය. ආරාමයට ඇතුළු වන භික්ෂුව ‘ආවාසයේ වසන භික්ෂූන් කොතැනකට රැස් වෙත් ද (පෙරළා එත් ද)?’ යි සැලකිය යුතුය. උපස්ථාන ශාලාවේ හෝ මණ්ඩපයේ හෝ ගසක් මුල හෝ ආවාසික භික්ෂූන් යම් තැනකට රැස් වෙත් ද, එතැනට ගොස් එක් පැත්තක පාත්‍රය තැබිය යුතුය. එක් පැත්තක සිවුර තැබිය යුතුය. සුදුසු අසුනක් ගෙන හිඳගත යුතුය. ‘බොන වතුර කුමක් ද? පාවිච්චියට ගන්නා වතුර කුමක් ද?’ යි බොන වතුර ගැනත් පාවිච්චියට ගන්නා වතුර ගැනත් විචාරිය යුතුය. බොන වතුරෙන් ප්‍රයෝජනයක් ඇත්නම් බොන වතුර ගෙන බිය යුතුය. පාවිච්චියට ගන්නා වතුරෙන් ප්‍රයෝජනයක් ඇත්නම් එය ගෙන පා සේදිය යුතුය. පා සෝදන භික්ෂුව එක් අතකින් වතුර වත් කොට අනෙක් අතින් පා සේදිය යුතුය. එකම අතින් වතුර වත් කිරීමත් පා සේදීමත් නොකළ යුතුය.
පාවහන් පිසදමන රෙදි කඩ ගැන විචාරා, පාවහන් පිසදැමිය යුතුය. පාවහන් පිසදමන භික්ෂුව පළමුව වියළි රෙදි කඩකිනුත්, පසුව තෙත් රෙදි කඩකිනුත් පිසදැමිය යුතුය. පාවහන් පිසදමන රෙදි කඩ සෝදා එක් පැත්තක එළා තැබිය යුතුය. ආවාසික භික්ෂුව වැඩිමහලු නම්, ඔහුට වැඳිය යුතුය. නවක නම්, තමාට වැඳවා ගත යුතුය.
‘මට කවර සෙනසුනක් (නවාතැනක්) ලැබේ ද?’ යි සෙනසුන ගැන විචාරිය යුතුය. ‘කලින් කිසිවෙකු වාසය කළ එකක් ද? නැතහොත් වාසය නොකළ එකක් ද?’ යි විචාරා දැනගත යුතුය. ගෝචරය (පිඬු සිඟා යා යුතු තැන) ද අගෝචරය (පිඬු සිඟා නොයා යුතු තැන්) ද විචාරා දැනගත යුතුය. සේඛසම්මත කුල (බොහෝ සැදැහැ ඇති, එහෙත් දිළිඳු වූ ගෙවල්) විචාරා දැනගත යුතුය. වැසිකිළිය ඇති තැන විචාරා දැනගත යුතුය. මුත්‍රා කරන තැන විචාරා දැනගත යුතුය. බොන වතුර ඇති තැන විචාරිය යුතුය. අනෙක් පාවිච්චියට ගත යුතු වතුර ඇති තැන අසා දැනගත යුතුය. සැරයටිය ඇති තැන අසා දැනගත යුතුය. ‘කවර වේලාවක ඇතුළු විය යුතු ද? කවර වේලාවක පිටත්ව යා යුතු ද?’ යි සංඝයාගේ කතිකා නියමය (සංඝයා එකඟව ඇති කරගත් නීතිය) විචාරිය යුතුය.
2. විහාරය කිසිවෙකු වාසය නොකළ එකක් නම්, දොරට තට්ටු කොට මොහොතක් බලා සිට, අගුල ඉවත් කොට, දොර විවෘත කොට, පිටත සිට පරීක්ෂා කොට බැලිය යුතුය. ඒ විහාරය කැලිකසළ සහිත නම්, ඇඳක් මත ඇඳක් තබා ඇත්නම් හෝ, පුටුවක් මත පුටුවක් තබා ඇත්නම් හෝ, සෙනසුන් බඩු (ඇඳ පුටු මත ඇතිරිලි ආදිය) ගොඩ ගසා ඇත්නම්, හැකි නම් එය පිරිසිදු කළ යුතුය. විහාරය පිරිසිදු කරන භික්ෂුව පළමුව බිම අතුරන ඇතිරිලි පිටතට ගෙන ගොස් එක් පැත්තක තැබිය යුතුය. ඇඳේ පා තබන අඩි පිටතට ගෙන ගොස් එක් පැත්තක තැබිය යුතුය. මෙට්ට සහ කොට්ට පිටතට ගෙන ගොස් එක් පැත්තක තැබිය යුතුය.