ජන්තාඝර වත (ගිනිහල්ගෙයි පිළිපැදිය යුතු වත)
11. එකල ෂඩ්වර්ගික භික්ෂූහු ගිනිහල්ගෙයි (ජන්තාඝරයෙහි) ස්ථවිර භික්ෂූන් විසින් වළක්වද්දී, ආදර ගෞරවයක් නැති නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩ හිඳගනිති. භික්ෂූහු උෂ්ණයෙන් දැඩි සේ තැවී, පිටවීමට දොර නොලැබ සිහි මුළා වී ඇද වැටෙති. අල්පේච්ඡ (ආශා අඩු) වූ, ලද දෙයින් සතුටු වන, පවට ලජ්ජා ඇති, වරදට බිය ඇති, ශික්ෂාවට කැමති යම් භික්ෂූන් වෙත් ද, ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු ගිනිහල්ගෙයි ස්ථවිර භික්ෂූන් විසින් වළක්වද්දී, ආදරයක් නැති නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩ හිඳගනිත් ද? භික්ෂූහු උෂ්ණයෙන් දැඩි සේ තැවී, දොර නොලැබ සිහි මුළා වී ඇද වැටෙති” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැල කළහ.
“මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂූහු ගිනිහල්ගෙයි ස්ථවිර භික්ෂූන් විසින් වළක්වද්දී, ආදරයක් නැති නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩ හිඳගනිත්ලු. භික්ෂූහු උෂ්ණයෙන් දැඩි සේ තැවී, දොර නොලැබ (පිටතට යාමට දොර නොඇරෙන නිසා) සිහි මුළා වී ඇද වැටෙත්ලු. එය සැබෑ ද?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි ඔවුහු කීහ. -පෙ- භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දැඩි ලෙස ගරහා, ධර්ම කතාවක් කොට, භික්ෂූන් අමතා,
“මහණෙනි, ගිනිහල්ගෙයි ස්ථවිර භික්ෂූන් විසින් වළක්වද්දී, ආදරයක් නැතිව බොහෝ දර ගොඩ ගසා ගිනි නොදැල්විය යුතුය. යමෙක් ගිනි දල්වන්නේ නම්, ඔහුට දුක්කට ඇවැත් වේ. මහණෙනි, දොර වසා දොරකඩ නොහිඳිය යුතුය. යමෙක් හිඳින්නේ නම්, ඔහුට දුක්කට ඇවැත් වේ” යි වදාළ සේක. (ඉක්බිති මෙසේ ද වදාළ සේක:)
12. “මහණෙනි, එසේ නම්, භික්ෂූන් ගිනිහල්ගෙයි පැවතිය යුතු ආකාරයට, භික්ෂූන්ට ගිනිහල්ගෙයි පිළිපැදිය යුතු වත පනවමි.”
“යමෙක් පළමුව ගිනිහල්ගෙට යන්නේ ද, ඉදින් අළු ගොඩ ගැසී ඇත්නම්, අළු ඉවත් කළ යුතුය. ඉදින් ගිනිහල්ගෙය කුණු කසළ සහිත නම්, එය අතුගා දැමිය යුතුය. ඉදින් පිල (ගිනිහල්ගෙය වටා ඇති පිල) කුණු කසළ සහිත නම්, එය අතුගා දැමිය යුතුය. ඉදින් පිරිවෙන (ගිනිහලත් පවුරත් අතර පෙදෙස) කුණු කසළ සහිත නම්, එය අතුගා දැමිය යුතුය. ඉදින් දොරටු කොටුව කුණු කසළ සහිත නම්, එය අතුගා දැමිය යුතුය. ඉදින් ගිනිහල්ගෙයි ශාලාව කුණු කසළ සහිත නම්, එය අතුගා දැමිය යුතුය. නාන සුණු දියෙන් තෙමා ගුලි කළ යුතුය. නාන මැටි තෙමිය යුතුය. දිය ඔරුවට දිය වත් කළ යුතුය. ගිනිහල්ගෙට ඇතුළු වන්නා විසින් මැටියෙන් මුහුණ ආලේප කොට, ඉදිරිපසත් පසුපසත් වසාගෙන, ගිනිහල් පුටුව රැගෙන ගිනිහල්ගෙට ඇතුළු විය යුතුය. ස්ථවිර භික්ෂූන් අතරට තෙරපී නොහිඳිය යුතුය. නවක භික්ෂූන් ඔවුන් හුන් අසුනෙන් නොනෙරපිය යුතුය. හැකි නම්, ගිනිහල්ගෙයි ස්ථවිර භික්ෂූන්ට උවටැන් කළ යුතුය. ගිනිහල්ගෙයින් පිටවන්නා විසින් ගිනිහල් පුටුව රැගෙන, ඉදිරිපසත් පසුපසත් වසාගෙන ගිනිහල්ගෙයින් පිටවිය යුතුය. හැකි නම්, දියෙහිදී ද ස්ථවිර භික්ෂූන්ට උවටැන් කළ යුතුය. ස්ථවිර භික්ෂූන්ට ඉදිරියෙන් සිට නොනෑ යුතුය. ස්ථවිර භික්ෂූන්ට ඉහළින් සිට නොනෑ යුතුය. නා ගොඩට නගින්නා විසින් දියට බසින්නන්ට මඟ දිය යුතුය. යමෙක් අන්තිමට ගිනිහල්ගෙයින් පිටවේ ද, ඉදින් ගිනිහල්ගෙය මඩ වී ඇත්නම්, ඔහු විසින් එය සේදිය යුතුය. මැටි දමා තබන ඔරුව සෝදා, ගිනිහල් පුටුව නියමිත තැනෙහි තබා, ගිනි නිවා, දොර වසා පිටත්ව යා යුතුය.
මහණෙනි, භික්ෂූන් විසින් ගිනිහල්ගෙයි යම් ලෙසකින් පැවතිය යුතු ද, මේ භික්ෂූන්ගේ ඒ ගිනිහල්ගෙයි වතයි.”
වැසිකිළි වත
13. ඒ කාලයේ බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වූ එක් භික්ෂුවක් මල පහ කොට, ‘දුගඳ හමන මේ අපවිත්‍ර දේ කවරෙක් නම් අල්ලන්නේ දැ’යි සිතා මල මඟ සෝදන්නට අකමැති විය. ඔහුගේ මල මඟෙහි පණුවන් හටගත්තේය. එවිට ඒ භික්ෂුව (අනෙක්) භික්ෂූන්ට මේ කරුණ දැනුම් දුන්නේය.
“ඇවැත්නි, ඇයි? ඔබ මල පහ කොට සෝදන්නේ නැද්දැ”යි භික්ෂූහු ඇසූහ.
“එසේය, ඇවැත්නි” යි ඒ භික්ෂුව කීවේය.