ආවාසික වත
4. එකල ආවාසික (එම ආවාසයේ වාසය කරන) භික්ෂූහු ආගන්තුක භික්ෂූන් දැක ආසන නොපැනවූහ; පා සෝදන වතුර, පා පුටුව, පා උලන පුවරුව ළඟින් ගෙනැවිත් නොතැබූහ. ඉදිරියට ගොස් පාත්‍රය සහ සිවුර නොපිළිගත්හ. බොන වතුර අවශ්‍යදැයි නොවිචාළහ. වැඩිමහලු ආගන්තුක භික්ෂූන් දැක ද නොවැන්දහ; සෙනසුන් නොපැනවූහ. අල්පේච්ඡ (ආශා අඩු), ලද දෙයින් සතුටු වන, ලැජ්ජා ඇති, සුළු වරදට පවා සැක කරන, ශික්ෂාවට කැමති යම් භික්ෂූන් වූවාහුද, ඔවුහු “කෙසේ නම් ආවාසික භික්ෂූහු ආගන්තුක භික්ෂූන් දැක ආසන නොපනවත්ද -පෙ- සෙනසුන් නොපනවත්ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
“මහණෙනි, එය සැබෑද?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක. -පෙ-
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි ඒ භික්ෂූහු කීහ. -පෙ-
භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ට) විශේෂයෙන් ගරහා -පෙ- ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක:
“මහණෙනි, එසේ නම් ආවාසික භික්ෂූන් යම් සේ පිළිපැදිය යුතුද, ඒ අයුරින් ආවාසික භික්ෂූන්ගේ වත පනවන්නෙමි” යි වදාරා මෙසේ වත පැනවූ සේක.
5. “මහණෙනි, ආවාසික භික්ෂුව වැඩිමහලු ආගන්තුක භික්ෂුවක් දැක ආසනයක් පැනවිය යුතුය. පා සෝදන වතුර, පා පුටුව, පා උලන පුවරුව ළඟින් ගෙනැවිත් තැබිය යුතුය. ඉදිරියට ගොස් පාත්‍රය සහ සිවුර පිළිගත යුතුය. බොන වතුර අවශ්‍යදැයි විචාළ යුතුය. හැකි නම්, පාවහන් පිසදැමිය යුතුය. පාවහන් පිසදමන භික්ෂුව පළමුව වියළි රෙදි කඩකින් පිසදැමිය යුතුය; පසුව තෙත් රෙදි කඩකින් පිසදැමිය යුතුය. පාවහන් පිසදමන රෙදි කඩ සෝදා එක් පැත්තක එළා තැබිය යුතුය. ආගන්තුක භික්ෂුව වැඩිමහලු නම්, ඔහුට වැඳිය යුතුය. ‘මේ සෙනසුන ඔබට අයත් වේ’ යි සෙනසුන පැනවිය යුතුය. ඒ සෙනසුනේ වෙන කෙනෙකු වාසය කළාද, නැද්ද යන්න දැන්විය යුතුය. පිණ්ඩපාතයට යා යුතු ගම් (ගෝචර ස්ථාන) දැන්විය යුතුය. නොයා යුතු ගම් (අගෝචර ස්ථාන) ද දැන්විය යුතුය. සේඛසම්මත පවුල් (මේ මේ පවුල් යැයි) දැන්විය යුතුය. වැසිකිළිය ඇති තැන කිව යුතුය. මුත්‍රා කරන තැන කිව යුතුය. බොන වතුර ඇති තැන කිව යුතුය. පාවිච්චියට වතුර ඇති තැන කිව යුතුය. සැරයටිය ඇති තැන කිව යුතුය. ‘මේ වේලාවේ ගමට පිවිසිය යුතුය, මේ වේලාවේ ගමින් නික්මිය යුතුය’ යි සංඝයා එකඟ වී ඇති නියමය (කතිකාව) කිව යුතුය.
ඉදින් ආගන්තුක භික්ෂුව නවක නම්, තමා හිඳගෙනම ‘මෙහි පාත්‍රය තබන්න, මෙහි සිවුර තබන්න, මේ ආසනයයි, මෙහි හිඳගන්න’ යි කිව යුතුය. බොන වතුර ඇති තැන කිව යුතුය. පාවිච්චියට වතුර ඇති තැන කිව යුතුය. පාවහන් පිසදමන රෙදි කඩ පෙන්විය යුතුය. නවක ආගන්තුක භික්ෂුව ලවා ආවාසික භික්ෂුව තමාට වැන්දවා ගත යුතුය. ‘මේ සෙනසුන ඔබට අයත් වේ’ යි සෙනසුන පෙන්විය යුතුය. ඒ සෙනසුනේ ඊට පෙර කිසිවෙකු වාසය කළාද, නැද්ද යන්න කිව යුතුය. පිණ්ඩපාතයට යා යුතු ගම් ද නොයා යුතු ගම් ද දැන්විය යුතුය. සේඛසම්මත පවුල් දැන්විය යුතුය. වැසිකිළිය පෙන්විය යුතුය. මුත්‍රා කරන තැන පෙන්විය යුතුය. බොන වතුර පෙන්විය යුතුය. පාවිච්චියට වතුර පෙන්විය යුතුය. සැරයටිය පෙන්විය යුතුය. ‘මේ ගමට පිවිසිය යුතු වේලාවයි, මේ ගමින් නික්මිය යුතු වේලාවයි’ යි සංඝයාගේ කතිකා නියමය කිව යුතුය.
මහණෙනි, ආවාසික භික්ෂූන් යම් සේ පිළිපැදිය යුතුද, ආවාසික භික්ෂූන්ගේ වත මෙයයි.”