ගමික වත
6. ඒ කාලයේ ගමික (වෙනත් තැනකට ගමන් යන) භික්ෂූන් ලී බඩු (ඇඳන්, පුටු ආදිය) සහ මැටියෙන් කළ බඩු (සායම් පිසින භාජන ආදිය) ආරක්ෂිතව තැන්පත් නොකර, දොරවල් ද ජනෙල් ද විවෘතව තබා, සෙනසුන කිසිවෙකුටත් භාර නොදී පිටත්ව යති. ලී බඩු ද මැටි බඩු ද විනාශ වෙයි. සෙනසුන ද ආරක්ෂා නොවී තිබෙයි. අල්පේච්ඡ (ආශා අඩු), පවට ලැජ්ජා ඇති, වරදට බිය වන (කුකුස් ඇති), ශික්ෂාවට කැමැති යම් භික්ෂූන් වෙත් ද, ඔවුහු “ගමික භික්ෂූන් ලී බඩු සහ මැටි බඩු ආරක්ෂිතව තැන්පත් නොකර, දොරවල් ද ජනෙල් ද විවෘතව තබා, සෙනසුන රැකගන්නට කිසිවෙකුටත් භාර නොදී පිටත්ව යන්නේ කෙසේද? ලී බඩු සහ මැටි බඩු විනාශ වෙයි, සෙනසුන ද ආරක්ෂා නොවී තිබෙයි” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
ඉන්පසු ඒ භික්ෂූන් මේ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
“මහණෙනි, එය සැබෑද?” -පෙ- යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි භික්ෂූන් කීහ. -පෙ-
භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් ගරහා, ධර්ම කතාවක් කොට, භික්ෂූන් අමතා,
“මහණෙනි, එසේ නම්, ගමික භික්ෂූන් යම් සේ පිළිපැදිය යුතුද, ඒ අනුව ගමික භික්ෂූන්ට වත පනවන්නෙමි” යි වදාරා ගමික වත පැනවූ සේක.
7. “මහණෙනි, ගමික භික්ෂුව ලී බඩු ද මැටි බඩු ද ආරක්ෂිතව තැන්පත් කළ යුතුය. දොරවල් සහ ජනෙල් වසා, සෙනසුන රැකගන්නට කෙනෙකුට දන්වා පිටත්ව යා යුතුය. (එහි) භික්ෂුවක් නැත්නම්, සාමණේරයෙකුට දැන්විය යුතුය (ඒවා රැකගන්නට සාමණේරයාට භාර දිය යුතුය). සාමණේරයෙක් නැත්නම්, ආරාමිකයෙකුට (ආරාමයේ සේවය කරන්නෙකුට) දැන්විය යුතුය. ආරාමිකයෙක් නැත්නම්, උපාසකයෙකුට දැන්විය යුතුය. භික්ෂුවක් හෝ සාමණේරයෙක් හෝ ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ නැත්නම්, ගල් හතරක් උඩ ඇඳක් තබා, ඒ ඇඳ මත තවත් ඇඳක් තබා, පුටුවක් මත පුටුවක් තබා, සෙනසුන් බඩු උඩින් ගොඩ ගසා, ලී බඩු සහ මැටි බඩු ආරක්ෂිතව තැන්පත් කොට, දොරවල් සහ ජනෙල් වසා පිටත්ව යා යුතුය.
විහාරයට වැසි වතුර වදී නම් (විහාරය තෙමේ නම්), හැකි නම් (උළු ආදියකින්) එය සෙවිලි කළ යුතුය. නැත්නම් ‘විහාරය සෙවිලි කරවා ගන්නේ කෙසේද?’ යි උත්සාහ හෝ කළ යුතුය. මෙසේ එය ලැබේ නම් (එය සිදු වේ නම්) එය හොඳය. එය නොලැබේ නම්, වැසි වතුර නොවදින යම් තැනක් වේ නම්, එහි ගල් හතරක් මත ඇඳක් තබා, ඒ ඇඳ මත තවත් ඇඳක් තබා, පුටුවක් මත පුටුවක් තබා, සෙනසුන් බඩු උඩින් ගොඩ ගසා, ලී බඩු සහ මැටි බඩු ආරක්ෂිතව තැන්පත් කොට, දොරවල් සහ ජනෙල් වසා පිටත්ව යා යුතුය.
මුළු විහාරයටම වැසි වතුර වදී නම්, හැකි නම්, සෙනසුන් බඩු ගමට ගෙන යා යුතුය. නැත්නම් ‘සෙනසුන් බඩු ගමට ගෙන යන්නේ කෙසේද?’ යි උත්සාහ හෝ කළ යුතුය. මෙසේ එය ලැබේ නම් එය හොඳය. එය නොලැබේ නම්, එළිමහනේ ගල් හතරක් මත ඇඳක් තබා, ඒ ඇඳ මත තවත් ඇඳක් තබා, පුටුවක් මත පුටුවක් තබා, සෙනසුන් බඩු උඩින් ලී බඩු සහ මැටි බඩු එක ගොඩකට ගසා ආරක්ෂිතව තැන්පත් කොට, ‘අඩු තරමින් ඒ බඩුවල කොටස්වත් ඉතිරි වේ නම් හොඳය’ කියා තණකොළවලින් හෝ කොළවලින් හෝ වසා පිටත්ව යා යුතුය.
මහණෙනි, ගමික භික්ෂූන් යම් සේ පිළිපැදිය යුතුද, ගමික භික්ෂූන්ගේ වත මෙයයි.”
8. ඒ කාලයේ භික්ෂූන් දන් වළඳන ශාලාවේදී අනුමෝදනා නොකරති. “ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් දන් ශාලාවේදී අනුමෝදනා නොකරන්නේ කෙසේද?” කියා මිනිසුන් හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන භික්ෂූන්ට ඇසුණි. ඉන්පසු ඒ භික්ෂූන් මේ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය නිසා, මේ සිද්ධිය නිසා ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා,
“මහණෙනි, දන් ශාලාවේදී අනුමෝදනා බණ කියන්නට අනුමත කරමි” යි වදාළ සේක.
එවිට ඒ භික්ෂූන්ට “දන් ශාලාවේදී අනුමෝදනා බණ කිය යුත්තේ කවරෙක්ද?” යන සිතුවිල්ල ඇති විය. ඔවුහු මේ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය නිසා, මේ සිද්ධිය නිසා ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා,
“මහණෙනි, ස්ථවිර (වැඩිමහලු) භික්ෂුවට දන් ශාලාවේදී අනුමෝදනා කරන්නට අනුමත කරමි” යි වදාළ සේක.
ඒ කාලයේ එක්තරා පිරිසක සංඝ දානයක් විය. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් වහන්සේ (එයට වැඩි සංඝ පිරිසේ) සංඝස්ථවිර (වැඩිමහලුම භික්ෂුව) වූහ. ‘ස්ථවිර භික්ෂුවට දන් ශාලාවේදී අනුමෝදනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ අනුමත කළ සේක’ කියා, භික්ෂූන් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් වහන්සේ තනි කොට දමා පිටත්ව ගියහ. ඉන්පසු ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් වහන්සේ ඒ මිනිසුන්ට දානානුමෝදනාව කොට, පසුව තනිවම වැඩියහ. දුර සිටම වඩින ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක උන්වහන්සේ අමතා, “ශාරිපුත්‍රය, දානය හොඳින් සිදු වූවාද (සම්පූර්ණ වූවාද)?” යි විචාළ සේක. “ස්වාමීනි, දානය හොඳින් සිදු විය. එහෙත් භික්ෂූන් මා තනි කොට දමා පිටත්ව ගියහ” යි සැල කළහ.