ආචාර්ය වත
26. එකල අතවැසියෝ (ආචාර්යයන් ළඟ වසන ශිෂ්‍ය භික්ෂූහු) ආචාර්යයන් කෙරෙහි මනා ලෙස නොහැසිරුණාහුය. අල්පේච්ඡ (ආශා අඩු) වූ, ලද දෙයින් සතුටු වන, ලජ්ජා ඇති, වරදට බිය වන, ශික්ෂාවට කැමති යම් භික්ෂූන් වහන්සේලා සිටියාහු ද, ඔවුහු “කෙසේ නම් අතවැසියෝ ආචාර්යයන් කෙරෙහි මනා ලෙස නොහැසිරෙත් දැ”යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
“මහණෙනි, අතවැසි භික්ෂූහු ආචාර්ය භික්ෂූන් කෙරෙහි මනා ලෙස නොහැසිරෙති ලු. එය සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස”යි භික්ෂූහු කීහ. -පෙ- භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් ගරහා, ධර්ම කතාවක් කොට, භික්ෂූන් අමතා “මහණෙනි, එසේ නම් අතවැසියන් ආචාර්යයන් කෙරෙහි යම් සේ හැසිරිය යුතු ද, ඒ අයුරින් අතවැසියන්ට ආචාර්ය වත පනවන්නෙමි”යි වදාරා, පහත දැක්වෙන පරිදි ආචාර්ය වත පැනවූ සේක.
“මහණෙනි, අතවැසියා ආචාර්යයන් කෙරෙහි මනා ලෙස හැසිරිය යුතුය. එහි මනා හැසිරීම මෙයයි:
උදෑසනම නැගිට, පාවහන් ගලවා, උතුරු සිවුර එක් උරයක් වැසෙන සේ පොරවාගෙන දැහැටි දිය යුතුය. මුහුණ සෝදන වතුර දිය යුතුය. අසුනක් පැනවිය යුතුය. ඉදින් කැඳ ඇත්නම්, බඳුන සෝදා කැඳ ළං කොට දිය යුතුය. කැඳ බී අවසන් වූ කල වතුර දී, බඳුන පිළිගෙන, පහත් කොට, කිසිවක නොගාමින් මනාව සෝදා ආරක්ෂිතව තැබිය යුතුය. ආචාර්යයන් නැගී සිටි කල අසුන ඉවත් කළ යුතුය.
ඉදින් ඒ ප්‍රදේශය කුණු රොඩු සහිත නම්, ඒ තැන අතුගෑ යුතුය. ඉදින් ආචාර්යයන් ගමට පිවිසෙන්නට කැමති නම්, අඳනය දිය යුතුය. (එතෙක් ඇඳ සිටි) මාරු අඳනය පිළිගත යුතුය. ඉණ පටිය දිය යුතුය. සිවුරු දෙක එකට එක් කොට දිය යුතුය. පාත්‍රය සෝදා වතුර සහිතව දිය යුතුය. ඉදින් ආචාර්යයන් තමන් පසුපසින් යන භික්ෂුවක් (පසු මහණෙක්) කැමති නම්, මඬුලු තුන (නාභිය හා දණහිස් දෙක) වැසෙන සේ වටේටම සමව අඳනය ඇඳ, ඉණ පටිය බැඳ, සිවුරු දෙක එකට එක් කොට පොරවා, ගැටය දමා, පාත්‍රය සෝදා අතට ගෙන ආචාර්යයන්ගේ පසු මහණ විය යුතුය. ඉතා දුරින් නොයා යුතුය. ඉතා ළඟින් නොයා යුතුය. පාත්‍රයට ලැබුණු දේ පිළිගත යුතුය.
27. ආචාර්යයන් කතා කරන අතරතුර කතා නොදැමිය යුතුය. ආචාර්යයන් ඇවැතකට (විනය වරදකට) ළං වන දෙයක් කියන විට එය වැළැක්විය යුතුය. ආපසු එන විට පළමුවෙන්ම පැමිණ අසුනක් පැනවිය යුතුය. පා සෝදන වතුර ද, පා තබන පුටුව ද, පා උලන ලෑල්ල ද ළඟින් තැබිය යුතුය. ඉදිරියට ගොස් පාත්‍රය හා සිවුර පිළිගත යුතුය. මාරු අඳනය දිය යුතුය. (ඇඳ සිටි) අඳනය පිළිගත යුතුය. සිවුර දහඩියෙන් තෙත් වී ඇත්නම්, මොහොතක් අව්වේ වියළිය යුතුය. සිවුර අව්වේ බොහෝ වේලාවක් නොතැබිය යුතුය. සිවුර නැමිය යුතුය. සිවුර නමන විට ‘සිවුරේ මැද නැමුම් ඉරක් (බිඳීමක්) ඇති නොවේවා’යි සිතා සිවුරේ කොන ඇඟිලි හතරක් පමණ උඩට ඇද නැමිය යුතුය. ඉණ පටිය සිවුරේ නැමුම තුළ තැබිය යුතුය.
ඉදින් පිණ්ඩපාත ආහාරය ඇත්නම් සහ ආචාර්යයන් වළඳන්නට කැමති නම්, වතුර දී පිණ්ඩපාතය ළං කොට දිය යුතුය. ආචාර්යයන්ගෙන් පැන් අවශ්‍ය දැයි විචාළ යුතුය. වළඳා අවසන් වූ කල වතුර දී, පාත්‍රය පිළිගෙන, පහත් කොට, කිසිවක නොගාමින් මනාව සෝදා, වතුර ඉවත් කොට (තෙත මාත්තු කොට) මොහොතක් අව්වේ වියළිය යුතුය. පාත්‍රය අව්වේ බොහෝ වේලාවක් නොතැබිය යුතුය. පාත්‍රය හා සිවුර තැබිය යුතුය. පාත්‍රය තබන විට එක් අතකින් පාත්‍රය ගෙන, අනෙක් අතින් ඇඳ යට හෝ පුටුව යට හෝ අතගා බලා පාත්‍රය තැබිය යුතුය. කිසිවක් නොඇතිරූ හිස් බිමෙහි පාත්‍රය නොතැබිය යුතුය. සිවුර තබන විට එක් අතකින් සිවුර ගෙන, අනෙක් අතින් සිවුරු එල්ලන දණ්ඩ හෝ සිවුරු රැහැන හෝ පිසදමා, සිවුරේ කොන පිටතට ද, නැමුම මෙපිටට (තමා සිටින පැත්තට) ද වන සේ සිවුර තැබිය යුතුය.
ආචාර්යයන් නැගී සිටි කල අසුන ඉවත් කළ යුතුය. පා සෝදන වතුර, පා තබන පුටුව, පා උලන ලෑල්ල ආරක්ෂිතව තැබිය යුතුය. ඉදින් ඒ ප්‍රදේශය කුණු රොඩු සහිත නම්, ඒ තැන අතුගෑ යුතුය.
ඉදින් ආචාර්යයන් නාන්නට කැමති නම්, නාන වතුර සූදානම් කළ යුතුය. ඉදින් සීතල වතුර අවශ්‍ය නම්, සීතල වතුර සූදානම් කළ යුතුය. උණු වතුර අවශ්‍ය නම්, උණු වතුර සූදානම් කළ යුතුය. ඉදින් ආචාර්යයන් ගිනිහල් ගෙයට (ගින්නේ රස්නයෙන් දහඩිය දමා නාන ගෙයට) පිවිසෙන්නට කැමති නම්, නාන කුඩු වතුරෙන් තෙමා ගුලි කළ යුතුය. මැටි තෙමිය යුතුය. ගිනිහල් ගෙයේ පුටුව ගෙන ආචාර්යයන් පසුපසින් ගොස්, එය දී, සිවුර පිළිගෙන එක් පසෙක තැබිය යුතුය. නාන කුඩු දිය යුතුය. මැටි දිය යුතුය. හැකි නම් තමා ද ගිනිහල් ගෙයට පිවිසිය යුතුය. ගිනිහල් ගෙයට පිවිසෙන විට මැටියෙන් මුහුණ ආලේප කොට (මැටි මුහුණේ ගා), ඉදිරියෙන් ද පිටුපසින් ද ශරීරය වසාගෙන ගිනිහල් ගෙයට පිවිසිය යුතුය.