අතවැසි වත
31. එකල්හි ආචාර්යයෝ අතවැසියන් කෙරෙහි මනාව නොපැවතියහ. අල්පේච්ඡ (ආශා අඩු), ලද දෙයින් සතුටු වන, ලජ්ජා ඇති, වරදට බිය වන, ශික්ෂාවට කැමති යම් භික්ෂූන් වහන්සේලා සිටියාහු ද, ඔවුහු ‘කෙසේ නම් ආචාර්යයෝ අතවැසියන් කෙරෙහි මනාව නොපවතින්නාහු ද?’ යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි, මේ කරුණෙහි භික්ෂු සංඝයා රැස් කරවා, “මහණෙනි, ආචාර්යයෝ අතවැසියන් කෙරෙහි මනාව නොපවතිති යන්න සැබෑ ද?” යි භික්ෂූන්ගෙන් විචාළ සේක. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි ඒ භික්ෂූහු කීහ. -පෙ- විශේෂයෙන් ගරහා, ධර්ම කතාවක් කොට, භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ නම්, ආචාර්යයන් අතවැසියන් කෙරෙහි යම් සේ පැවතිය යුතු ද, එසේ අතවැසියන් කෙරෙහි ආචාර්යයන්ගේ වත පනවන්නෙමි.
“මහණෙනි, ආචාර්යයන් අතවැසියා කෙරෙහි මනාව පැවතිය යුතුය. එහි මනා පැවැත්ම මෙයයි:
මහණෙනි, ආචාර්යයන් උද්දේසයෙන් (ධර්මය උගන්වා දීමෙන්), පරිපුච්ඡාවෙන් (යළි යළි විචාරීමෙන්), අවවාදයෙන්, අනුශාසනාවෙන් අතවැසියාට සංග්‍රහ කළ යුතුය; අනුග්‍රහ කළ යුතුය. ඉදින් ආචාර්යයන්ට පාත්‍රයක් ඇත්නම්, අතවැසියාට පාත්‍රයක් නැත්නම්, ආචාර්යයන් අතවැසියාට පාත්‍රය දිය යුතුය; නැතහොත් ‘කෙසේ නම් අතවැසියාට පාත්‍රයක් ලැබෙන්නේ ද?’ යි උත්සාහ කළ යුතුය.
ඉදින් ආචාර්යයන්ට සිවුරක් ඇත්නම්, අතවැසියාට සිවුරක් නැත්නම්, ආචාර්යයන් අතවැසියාට සිවුර දිය යුතුය; නැතහොත් ‘කෙසේ නම් අතවැසියාට සිවුරක් ලැබෙන්නේ ද?’ යි උත්සාහ කළ යුතුය.
ඉදින් ආචාර්යයන්ට පිරිකරක් ඇත්නම්, අතවැසියාට පිරිකරක් නැත්නම්, ආචාර්යයන් අතවැසියාට පිරිකර දිය යුතුය; නැතහොත් ‘කෙසේ නම් අතවැසියාට පිරිකරක් ලැබෙන්නේ ද?’ යි උත්සාහ කළ යුතුය.
32. ඉදින් අතවැසියා ගිලන් වී නම්, ආචාර්යයන් වේලාසනින්ම නැගිට දැහැටි (දත් මදින කූරු) දිය යුතුය. මුහුණ සෝදන වතුර දිය යුතුය. අසුනක් පැනවිය යුතුය. කැඳ ඇත්නම්, භාජනයක් සෝදා කැඳ ළං කළ යුතුය. කැඳ බී අවසන් වූ විට වතුර දී, භාජනය පිළිගෙන, පහත් කොට, කිසිවක නොගාමින් මනාව සෝදා ආරක්ෂිතව තැබිය යුතුය. අතවැසියා නැගිට ගිය පසු අසුන ඉවත් කළ යුතුය. ඉදින් ඒ තැන කුණු රොඩු සහිත නම්, එය අතුගා පිරිසිදු කළ යුතුය.
ඉදින් අතවැසියා ගමට යන්නට කැමති නම්, අඳනය දිය යුතුය. (එතෙක් ඇඳ සිටි) මාරු අඳනය පිළිගත යුතුය. ඉණ පටිය (කාය බන්ධනය) දිය යුතුය. සඟළ සිවුරු දෙක එකට එක් කොට දිය යුතුය. පාත්‍රය සෝදා වතුර සහිතව දිය යුතුය. ‘මෙතෙක් වේලාවකින් ආපසු එනු ඇත’ යි සලකා අසුනක් පැනවිය යුතුය. පා සෝදන වතුර, පා තබන පුටුව, පා උලන ලෑල්ල ළඟින් තැබිය යුතුය. පෙරට ගොස් පාත්‍ර සිවුරු පිළිගත යුතුය. මාරු අඳනය දිය යුතුය. (ඇඳ සිටි) අඳනය පිළිගත යුතුය.
ඉදින් සිවුර දහඩියෙන් තෙත් වී නම්, මොහොතක් අව්වේ වේලිය යුතුය. සිවුර අව්වේ බොහෝ වේලාවක් නොතැබිය යුතුය. සිවුර නැමිය යුතුය. සිවුර නමන විට ‘සිවුර මැදින් බිඳීමක් නොවේවා’ යි සලකා සිවුරු කොන ඇඟිලි හතරක් පමණ ඉහළට තබා නැමිය යුතුය. සිවුරු නැම්ම මත ඉණ පටිය තැබිය යුතුය.
33. ඉදින් පිණ්ඩපාතය (පිඬු සිඟා ලැබූ ආහාරය) ඇත්නම්, අතවැසියා ද වළඳන්නට කැමති නම්, වතුර දී පිණ්ඩපාතය ළඟට ගෙන දිය යුතුය. අතවැසියාගෙන් බොන්නට වතුර අවශ්‍ය දැයි ඇසිය යුතුය. වළඳා අවසන් වූ පසු වතුර දී, පාත්‍රය පිළිගෙන, පහත් කොට, කිසිවක නොගාමින් හොඳින් සෝදා, වතුර නැති කොට මොහොතක් අව්වේ වේලිය යුතුය. පාත්‍රය අව්වේ බොහෝ වේලාවක් නොතැබිය යුතුය. පාත්‍ර සිවුරු තැබිය යුතුය. පාත්‍රය තබන විට එක් අතකින් පාත්‍රය ගෙන අනෙක් අතින් ඇඳ යට හෝ පුටුව යට හෝ අතගා බලා පාත්‍රය තැබිය යුතුය. කිසිවක් නොඇතිරූ හිස් බිම පාත්‍රය නොතැබිය යුතුය. සිවුර තබන විට එක් අතකින් සිවුර ගෙන අනෙක් අතින් සිවුරු වැල හෝ සිවුරු රැහැන හෝ පිසදමා, සිවුරේ කෙළවර එපිටටත් සිවුරු නැම්ම මෙපිටටත් සිටින සේ සිවුර තැබිය යුතුය. අතවැසියා නැගිට ගිය පසු අසුන ඉවත් කළ යුතුය. පා සෝදන වතුර, පා තබන පුටුව, පා උලන ලෑල්ල ආරක්ෂිතව තැන්පත් කළ යුතුය.
ඉදින් ඒ තැන කුණු රොඩු සහිත වී නම්, එය අතුගා පිරිසිදු කළ යුතුය. ඉදින් අතවැසියා නාන්නට කැමති නම්, නාන වතුර පිළියෙල කර දිය යුතුය. ඉදින් සිසිල් වතුරෙන් ප්‍රයෝජනයක් ඇත්නම්, සිසිල් වතුර පිළියෙල කර දිය යුතුය. ඉදින් උණු වතුරෙන් ප්‍රයෝජනයක් ඇත්නම්, උණු වතුර පිළියෙල කර දිය යුතුය. ඉදින් අතවැසියා ගිනිහල් ගෙයට (ගින්නෙන් ඇඟ තවා දහඩිය දමා නාන ගෙයට) ඇතුළු වන්නට කැමති නම්, නාන කුඩු තෙමා ගුලි කළ යුතුය. මැටි තෙමිය යුතුය. ගිනිහල් ගෙයේ පුටුව ගෙන ගොස්, එය දී, සිවුර පිළිගෙන එක් පසෙක තැබිය යුතුය. නාන කුඩු දිය යුතුය. මැටි දිය යුතුය. හැකි නම්, ගිනිහල් ගෙයට ඇතුළු විය යුතුය. ගිනිහල් ගෙයට ඇතුළු වන විට මැටියෙන් මුහුණ ආලේප කොට, ඉදිරියෙන් ද පිටුපසින් ද සිරුර වසාගෙන ගිනිහල් ගෙයට ඇතුළු විය යුතුය.