9. 4. 1-40.
එසනාදී සූත්ර
3669-3708. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද? කාම ඒෂණා, භව ඒෂණා, බ්රහ්මචරිය ඒෂණා ය. ...පෙ... වැඩිය යුතුය.
එසනා වර්ගය සිව්වැනි යි.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යැයි (සූත්ර දශයකි).
5. ඕඝ වර්ගය
9. 5. 1-39.
ඕඝාදී සූත්ර
3709-3747. මහණෙනි, මේ ඕඝ (සැඩ පහර) සතරකි. කවර සතරක් ද? කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය ය. ...පෙ... වැඩිය යුතුය.
(විස්තර කළ යුතුය)
9. 5. 40.
උද්ධම්භාගිය සූත්රය
3748. “මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන පසකි. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්යාව යනුයි මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතර ධ්යානයෝ වැඩිය යුත්තාහ. “කවර සතරක්දයත්, මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි, “විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් සහිත සිත එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතිය දුරුකිරීමෙන් සිහි ඇතිව මනා නුවණ ඇතිව මධ්යස්ථව වාසය කෙරේ. ධ්යාන සුවයද කයින් මනාකොට විඳියි. මධ්යස්ථව සිහි ඇතිව සුවසේ වාසය කෙරේයයි, ආර්ය්යයෝ යමක් කියත්ද? ඒ තෘතීයධ්යානයට පැමිණ වාසය කරයි. සුඛ දුක්ඛයන්ගේ ප්රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛාසතියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ සතර ධ්යානයෝයි.” “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස, පහකිරීම පිණිස මේ සතර ධ්යානයෝ වැඩිය යුත්තාහ” යනුයි.
ඕඝවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
ඕඝ, යොග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරුද්ධම්භාගිය යැයි (සූත්ර දශයකි).
ඣාන සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, එසනා, ඕඝ යැයි ධ්යාන සංයුත්තයේ වර්ග පසක් වෙත්.