9. ඣාන සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්ගය
9. 1. 1-12.
පාචීනනින්නාදී සූත්‍ර
3635-3646. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ ධ්‍යාන සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් සහිත සිත එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය දුරුකිරීමෙන් සිහි ඇතිව මනා නුවණ ඇතිව මධ්‍යස්ථව වාසය කෙරේ. ධ්‍යාන සුවයද කයින් මනාකොට විඳියි. මධ්‍යස්ථව සිහි ඇතිව සුවසේ වාසය කෙරේයයි ආර්‍ය්‍යයෝ යමක් කියත්ද? ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සුඛ දුක්ඛයන්ගේ ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ සතර ධ්‍යානයෝයි.”
‘මහණෙනි, යම්සේ ගංගානදිය පෙර දිගට නැමී පෙර දිගට හැරී පෙරදිගට නැඹුරුවී පවතිත්ද මහණෙනි, එසේම ධ්‍යාන සතර වඩන්නාවූ, ධ්‍යාන සතර බහුල කරන්නාවූ, මහණතෙම වනාහි නිවනට නැමුනේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් භික්ෂුව සතර ධ්‍යානයන් වැඩීමෙන්, සතර ධ්‍යානයන් බහුල කිරීමෙන් නිවනට නැමුනේ, නිවනට හැරුණේ, නිවනට බර වූයේ වේ ද: මහණෙනි, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව ...පෙ... ප්‍රථම ධ්‍යානය ...පෙ... ද්විතීය ධ්‍යානය ...පෙ... තෘතීය ධ්‍යානය ...පෙ... චතුර්ථ ධ්‍යානය උපසම්පදා කොට වසයි. මහණෙනි, මෙසේ ධ්‍යාන සතර වඩන්නා වූ ධ්‍යාන සතර බහුල කරන්නා වූ භික්ෂුව නිවනට නැමුනේ, නිවනට හැරුණේ, නිවනට බර වූයේ වෙයි.
(දෙවැනි පාචීනනින්නාදී සූත්‍ර ද මෙසේ විස්තර කළ යුතුය.)
ගඞ්ගාපෙය්‍යාලවග්ගො පඨමො.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක් ද, මුහුදට නැමුණු සයක් ද (වෙත්). මේ දොළොසකි. එහෙයින් වර්ගය යයි කියනු ලැබේ.
2. අප්පමාද වර්ගය
9. 2. 1-10.
තථාගතාදී සූත්‍ර
3647-3656. මහණෙනි, අපා වූ හෝ දෙපා වූ හෝ සිව්පා වූ හෝ බොහෝ පා ඇති හෝ යම්තාක් සත්ත්වයෝ වෙත් ද ...පෙ... බහුල වශයෙන් කරන්නේ ය.
අප්පමාද වර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන මේ දස පදයෝ යි.
3. බලකරණීය වර්ගය
9. 3. 1-12.
බලාදී සූත්‍ර
3657-3668. මහණෙනි, යම් සේ යම් කිසි බලයෙන් කටයුතු කර්මාන්ත කරනු ලැබෙත් ද ...පෙ... බහුල වශයෙන් කරන්නේ ය.
(විස්තර කළ යුතුය)
බලකරණීය වර්ගය තෙවැනි යි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක් ද, නාවා, ආගන්තුක, නදී යැයි දොළසකි.
4. එසනා වර්ගය
9. 4. 1-40.
එසනාදී සූත්‍ර
3669-3708. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද? කාම ඒෂණා, භව ඒෂණා, බ්‍රහ්මචරිය ඒෂණා ය. ...පෙ... වැඩිය යුතුය.
එසනා වර්ගය සිව්වැනි යි.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යැයි (සූත්‍ර දශයකි).