6. 8. 1-36.
බල ආදී සූත්‍ර
2847-2882. මහණෙනි, යම්කිසි බලයෙන් කළයුතු කර්මාන්ත ඇද්ද... (මෙසේ විස්තර කටයුතුයි).
(සූත්‍ර තිස් හයක් විස්තර කටයුතුයි.)
පුනබලකරණීයවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක් ද, නාවා, ආගන්තුක, නදී යැයි (දොළසකි).
9. පුනඒසනා වර්ගය
6. 9. 1-120.
එසනා ආදී සූත්‍ර
2883-3002. මහණෙනි, මේ ඒෂණා තුනකි. කවර තුනක්ද යත්... (මෙසේ විස්තර කටයුතුයි).
(විවේක නිශ්‍රිත ආදි වශයෙන් ද අභිඥා ආදි වශයෙන් ද එක් එක් තැන දොළස දොළස බැගින් කොට සූත්‍ර එකසිය විස්සක් විස්තර කටයුතුයි.)
එසනාවග්ගො නවමො.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යැයි (සූත්‍ර වේ).
10. පුනඕඝ වර්ගය
6. 10. 1-119.
ඕඝ ආදී සූත්‍ර
3003-3121. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක්ද... (මෙසේ විස්තර කටයුතුයි).
(කියන ලද ක්‍රමයෙන් විස්තර කටයුතුයි.)
6. 10. 120.
උද්ධම්භාගිය සූත්‍රය
3122. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක්වෙත්. කවර පසක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාව යනුයි. මහණෙනි, මොව්හු වනාහි පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන් විශේෂයෙන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, පහකිරීම පිණිස පඤ්චබලයන් වැඩිය යුතුය. කවර පසක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවරකොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ සද්ධාබලය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ විරිය බලය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවරකොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ සති බලය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ සමාධි බලය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවරකොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ පඤ්ඤා බලය වඩයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච බලයෝ වැඩිය යුත්තාහ.
ඕඝවග්ගො දසමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, උද්ධම්භාගිය යැයි (සූත්‍ර වේ).
සයවෙනි බල සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
ගංගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, එසනා යන මොවුන් ද, නැවත ඒ නමින් ම කියවුණු වර්ගයන් ද වශයෙන් බල සංයුත්තයේ වර්ග දහයක් වේ.