3. 5. 10.
10. ආසව සූත්‍රය
416. “මහණෙනි, මේ ආශ්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද? කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිද්‍යාශ්‍රවය යනුයි. මහණෙනි මේ ආශ්‍රවයන් තිදෙනාය. මේ ආශ්‍රවයන් තිදෙනාගේ ප්‍රහාණය පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “මහණෙනි, මේ ආශ්‍රවයන් තිදෙනාගේ ප්‍රහාණය කිරීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
අමතවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි ද, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වෙදනා සහ ආසව යැයි (සූත්‍ර දසයකි).
6. ගංගා පෙය්‍යාල වර්ගය
3. 6. 1-48.
ගංගා ආදී සූත්‍ර
1229-1276. මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමුණේ ද, පෙරදිගට යොමු වූයේ ද, පෙරදිගට බර වූයේ ද -පෙ- නිවනට බර වූයේ යැයි දත යුතුයි. 417-428. (මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්‍යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී සතර සතිපට්ඨාන වශයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් යොදාගත යුතුයි)
(මග්ගසංයුත්තයේ ගංගා පෙය්‍යාල වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
ගඞ්ගාපෙය්‍යාලවග්ගො ඡට්ඨො.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක් ද, මුහුදට නැමුණු සයක් ද වේ. මේ දෙකොටස දොළසක් වේ. එහෙයින් වර්ගය යයි කියනු ලැබේ.
(විවේකනිශ්‍රිත ආදිය වශයෙන් ද, රාගවිනසපර්‍ය්‍යවසාන ආදිය වශයෙන් ද, අමතොගධ ආදිය වශයෙන් ද, නිබ්බානනින්න ආදිය වශයෙන් ද එකෙකෙහි සතර සතර බැගින් කොට අටසාළිස් සූත්‍ර යො ද විස්තර කළ යුතුය.)
7. අප්පමාද වර්ගය
3. 7. 1-40.
තථාගතාදි සූත්‍ර
1277-1316. මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ යම් තාක් සත්වයෝ වෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි. 429-438. (මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට සතර සතිපට්ඨානය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දහය සම්පූර්ණවේ.)
අප්පමාදවග්ගො සත්තමො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්ද, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
(මෙහි දු එකෙකෙහි සතර සතර බැගින් කොට සතළිස් සූත්‍රයෝ විස්තර කළ යුත්තාහ.)