5. අමත වර්ගය
3. 5. 1.
1. අමත සූත්‍රය
407. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇත්තෝව වාසය කරව්. නැතහොත් නුඹලාට නිවනක් නොවන්නේය. කවර සතරෙක්හිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. මහණෙනි, මේ සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇත්තෙක්ව වාසය කරව්. (නැතහොත්) නුඹලාට නිවනක් නොවන්නේය.”
3. 5. 2.
2. සමුදය සූත්‍රය
1220. සැවැත්නුවරදීය:
408. “මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ ඇතිවීමට හේතුවද නැතිවීමද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කයේ ඇතිවීමට හේතුව කවරේද? ආහාරය හේතු කොටගෙන කයේ හටගැනීම වේ. ආහාරය නැතිවීමෙන් කයේ නැතිවීම වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාවේ හට ගැනීම වේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාවේ නැතිවීම වෙයි. නාම රූපයන් හේතුකොටගෙන චිත්තයාගේ හටගැනීම වේ. නාම රූපයන් නැතිවීමෙන් චිත්තයාගේ නැතිවීම වෙයි. මනසිකාරය හේතුකොටගෙන ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරය නැතිවීමෙන් ධර්මයන්ගේ නැතිවීම වේ.”
3. 5. 3.
3. මග්ග සූත්‍රය
409. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, එක්කලෙක මම බුදුවූ මුල් කාලයෙහි උරුවෙලාවෙහි නෙරඤ්ජරා නදී තීරයෙහි අජපාල නුගරුක මුල වැඩසිටියෙමි. “මහණෙනි, රහසිගතව විවේක සුවයෙන් වැඩ සිටි ඒ මට මෙබඳු අදහසක් පහළවිය:
‘යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය කියායි. ඒ සතර කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද, ඒ සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේය කියායි.
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙමේ ඔහුගේ සිතින් මගේ සිත දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කරන ලද අතක් දිගු කරන්නේද දිගුකළ අතක් වක් කරන්නේද, එපරිද්දෙන් බඹලොවින් අතුරුදහන්ව මගේ ඉදිරියෙහි පහළවිය. “ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙමේ උතුරු සළුව ඒකාංශ කොට පෙරවා මම යම්තැනෙක්හිද එතැන්හි ඇඳිලි බැඳ මට මෙසේ කීවේය:
‘භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද, ඒ සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය. කවර සතරෙක්හිද? ස්වාමීනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “ස්වාමීනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද, ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධකර ගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය. මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙමේ මෙසේ කීවේය. මෙසේ කියා නැවත මෙසේද කීය:
“ජාතිය ක්ෂයකිරීම් සංඛ්‍යාත නිර්වාණය දක්නාවූ හිතානුකම්පීවූ තථාගතයන් වහන්සේ ඒකායන මාර්ගය දන්නා සේක. යම් කෙනෙක් සසරින් එතෙරවූවාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙරවූහ. අනාගතයෙහි යම් කෙනෙක් සසරින් එතෙර වන්නාහු නම් ඔව්හුද, මේ මාර්ගයෙන්ම එතෙර වන්නාහ. දැන් (මේ කාලයෙහි) යම් කෙනෙක් එතෙරවෙත් නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වෙත්” යනුයි.