2. 6. 4.
මෙත්ත සූත්‍රය
600. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කෝලියවංශිකයන්ගේ හලිද්දවසන නම් නියම් ගමක්වීද එහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන හලිද්දවසන නම් නියම් ගමට පිඬු පිණිස ගියාහුය. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නෙමු නම් යහපති’ කියායි. ඉක්බිති අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එකත්පසක හුන්හ. එකත්පසක හුන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ.
“ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. ‘මහණෙනි, තෙපි එව්. “සිත කෙලෙසන නුවණ දුර්වලකරන පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එපරිද්දෙන් දෙවෙනි දිශාවද, එපරිද්දෙන් තුන්වෙනි දිශාවද, එපරිද්දෙන් සතරවෙනි දිශාවද, පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිග යන සියළු තන්හි සියළු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරව්. “කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වසව්. මෙසේ උඩ යට අනුදිගයන සියළුතන්හි සියළු සත්වයන් තමා මෙන්කොට සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිත පතුරුවා වාසය කරව්. “මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වෙනි දිශාවද එසේම සතරවෙනි දිශාවද පතුරුවා වාසය කරවු. මෙසේ උඩ යට අනුදිග යන සියළුතන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්ව ලෝකයා කෙරෙහි මහත්වූ මහත්ගතවූ, අප්‍රමාණවූ අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතාසහගත සිත පතුරුවා වාසය කරවු. “උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද, පතුරුවා වාසයකරවූ, මෙසේ උඩ යට අනුදිග සියළු තන්හි සියළු සත්වයන් තමාමෙන් සිතීමෙන් සියළු සත්වලෝකයා කෙරෙහි මහත්වූ මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, ව්‍යාපාද රහිතවූ, උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්.”
“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු: ‘ඇවැත්නි, තෙපි එව්. පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින්... (මෙසේ සෙසු කොටස් ද) ... උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරව්’ යැයි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් ධර්මදේශනාවක් වේද, යම් අනුශාසනාවක් වේද, මෙහි කවර වෙනසක්වේද, කවර වෙනස් අදහසක්වේද, කවර නානත්වයක් වේද?”
ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ කීමට සතුටුද නොවූහ. ප්‍රතික්ෂේපද නොකළහ. සතුටුද නොවී ප්‍රතික්ෂේපද නොකොට අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ තේරුම දැනගන්නෙමුයි ගියහ. ඉක්බිති ඒ භික්ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, අපි මෙහි පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පා සිවුරුගෙන හලිද්දවසනයට පිඬු පිණිස ගියෙමු. ස්වාමීනි, ඒ අපට මෙබඳු සිතක් විය: ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම්තැනකද එතැනට යන්නෙමු නම් හොඳය' කියායි.