2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බත වර්ගය
2. 1. 1.
හිමවන්ත සූත්රය
547. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, හිමාලය පර්වතරාජයා නිසා නාගයෝ කය වඩත්. බලගන්වත්. ඔවුන් එහි කය වඩා, බලගන්වා කුඩා වලවලට බසිත්. කුඩා වලවලට බැස, මහවලවලට බසිත්. මහ වලවලට බැස, කුඩා ගංගාවලට බසිත්. කුඩා ගංගාවලට බැස, මහ ගංගාවලට බසිත්. මහ ගංගාවලට බැස, මහා සමුද්රයට-සාගරයට බසිත්. එහිදී ඔවුන් කයින් මහත් බවට විශාල බවට පැමිණෙත්. “මහණෙනි, එසේම මහණතෙම වනාහි සීලය නිසා සීලයෙහි පිහිටා, සප්තබොජ්ඣංගයන් බහුලකරන්නේ, ධර්මයන්හි මහත් බවට විපුල බවට පැමිණෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් සීලය නිසා, සීලයෙහි පිහිටා, සප්තබොජ්ඣංගයන් වඩන්නේ සප්තබොජ්ඣංගයන් බහුල කරන්නේ, ධර්මයන්හි මහත් බවට විශාල බවට පැමිණෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩාද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපේක්ෂා සම්බොජ්ඣංගය වඩාද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා, සීලයෙහි පිහිටා, සප්ත බොජ්ඣංගයන් වඩන්නේ, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ධර්මයන්හි බහුල බවට, මහත් බවට පැමිණේයයි” වදාළසේක.
2. 1. 2.
කාය සූත්රය
548. (මේ සූත්රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, මේ කය ආහාරය නිසා සිටියිද, ආහාරය නැතිව නොසිටීද, මහණෙනි, එසේ වනාහි පඤ්චනීවරණයෝ ආහාරය නිසා සිටිත්, ආහාර නැතිව නොසිටිත්.
“මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ ව්යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවු ව්යාපාදයාගේ බහුල භාවය පිණිස, මහත් භාවය පිණිස හෝ පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, පටිඝනිමිත්තක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ ව්යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ව්යාපාදයාගේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ථින මිද්ධයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, නොඇල්ම සිතේ අලස බව කයේ අලස බව බත් මදය සහ සිතේ හැකුළුණු බවක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරයවේ.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුලභාවය මහත් භාවය පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සිතේ නොසන්සිඳීමක් ඇත්තේය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ බහුල භාවය මහත් භාවය පිණිස හෝ ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල භාවය, මහත්භාවය පිණිස හෝ පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සැකයට (විචිකිච්ඡාවට) ස්ථානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, මෙය නූපන්නාවූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ විචිකිච්ඡාවේ බහුල භාවය, මහත් භාවය පිණිස හෝ ආහාරය වේ. මහණෙනි, යම්සේ මේ කය වනාහි ආහාරයෙන් පවතින්නේ ආහාර නිසා සිටියිද, ආහාර නැතිව නොසිටියිද, මහණෙනි, එසේම මේ පඤ්චනීවරණයෝ වනාහි ආහාරයෙන් පවතින්නාහු ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්.
“මහණෙනි, මේ කය වනාහි ආහාරයෙන් පවතින්නේ ආහාරය නිසා සිටීද, ආහාර නැතිව නොසිටීද, මහණෙනි, එසේම සප්තබොජ්ඣංගයෝ වනාහි ආහාරය නිසා පවතින්නාහු ආහාරය නිසා සිටිත්. ආහාරය නැතිව නොසිටිත්. මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස හෝ උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස හෝ පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.
“මහණෙනි, නූපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද පවතින්නාවූ ආහාරය කවරේද? මහණෙනි, කුසලා’කුසල ධර්මයෝ, සදොස් නිදොස් ධර්මයෝ, කළු සුදු හා සමානවූ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලකොට පැවැත්මක් වේද, එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිසද සම්පූර්ණවීම පිණිසද ආහාරය වේ.