2. 6. 5.
සංගාරව සූත්රය
601. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සංගාරව බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ සංගාරව බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “භවත් ගෞතමය, යම් හෙයකින් ඇතැම් දිනක පළමුව නොහදාරන ලද මන්ත්රයෝ බොහෝ වේලාවක් හදාරන ලද්දේ නමුදු නොවැටහෙත්. මෙයට හේතු කවරේද? මෙයට කාරණා කවරේද? භවත් ගෞතමය, යම් හෙයකින් ඇතැම් දිනක පළමුව නොහදාරන ලද මන්ත්රයෝ බොහෝ වේලාවක් නොහදාරන ලද්දාහු නමුදු වැටහෙත්. මෙයට හේතු කවරේද? මෙයට ප්රත්ය කවරේද?”
“බ්රාහ්මණය, යම් කාලයක කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් යුක්තවූ සිතින් වාසය කරයිද, උපන්නාවූ කාමරාගයාගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, එකල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයම තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද? ‘බ්රාහ්මණය, යම්සේ වනාහි ලාකඩ පාටින් හෝ කහ පාටින් හෝ නිල් පාටින් හෝ මදටිය පාටින් හෝ මිශ්ර කරන ලද දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිසෙක් සිය මුහුණේ සටහන බලන්නේ ඇතිසැටි නොදන්නේය. නොදක්නේය. බ්රාහ්මණය, එසේම යම් කාලයක කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් යුක්තවූ සිතින් වාසය කෙරේද, උපන්නාවූ කාමරාගයාගේ දුරුකිරීම ඇතිසැටි නොදනියිද එකල්හි තමාගේ අර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. උභයාර්ථයම එකල්හි තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
“බ්රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ක්රෝධයෙන් මඩනා ලද, ක්රෝධ සිතින් වාසය කෙරේද, උපන් ක්රෝධයාගේ නිවීම තත්වූ පරිදි නොදනියිද, එකල්හි තමාගේ අර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද? “බ්රාහ්මණය, යම්සේ වනාහි ගින්නෙන් උණුවූ කකියන බුබුලු නගින දියබඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් මුවසටහන බලන්නේ ඇතිසැටි නොදන්නේය, නොදක්නේය, බ්රාහ්මණය, එසේම යම් කාලයක ක්රෝධයෙන් මඩනලද ක්රෝධයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන්නාවූ ක්රෝධයාගේ නිවීම ඇතිසැටි නොදනීද, නොදකීද, එකල්හි තමාගේ අර්ථයද ඇතිසැටියෙන් නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද ඇති සැටි නොදනී. නොදකී. එකල්හි උභයාර්ථයම ඇති සැටි නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද?
“බ්රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කාලයක ථින මිද්ධයෙන් මඩන ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටි නොදනීද එකල්හි ආත්මාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි. නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කවරේද? “බමුණ, යම්සේ වනාහි දිය සෙවලින් වැසුණාවූ දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුව සටහන බලන්නේ ඇතිසැටියෙන් නොදන්නේද නොදක්නේද; බ්රාහ්මණය, එපරිද්දෙන් වනාහි යම් කාලයක ථින මිද්ධයෙන් මඩනා ලද ථින මිද්ධයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් ථින මිද්ධයාගේ නිවීම ඇතිසැටි නොදනියිද නොදකියිද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. බොහෝ කලක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්රයන් කියනුම කවරේද?
“බ්රාහ්මණය, නැවතද අනිකක් කියමි. යම් කලක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම ඇතිසැටියෙන් නොදනීද එකල්හි ආත්මාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද තත්වූ පරිදි නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාළ මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්රයන් කියනුම කිම? “බමුණ යම්සේ වනාහි වාතයෙන් කැලඹුණු - සැලුණු භ්රමණයවුණු රළ ගසන දිය බඳුනක් වේද, එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුව සටහන බලන්නේ ඇතිසැටි නොදන්නේද නොදක්නේද බමුණ එපරිද්දෙන් යම් කාලයක උද්ධච්ච කුක්කුච්චයෙන් මඩනා ලද උද්ධච්ච කුක්කුච්චයෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නිවීම තත්වූ පරිදි නොදනියිද නොදකියිද එකල්හි ආත්මාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටියෙන් නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාරන ලද මන්ත්රයන් කියනුම කිම?
“බමුණ, නැවතද අනිකක් කියමි. යම් කාලයක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, උපන් විචිකිච්ඡාවගේ නිවීම ඇතිසැටි නොදනීද එකල්හි ආත්මාර්ථයද නොදනියි, නොදකියි. එකල්හි පරාර්ථයද නොදනියි, නොදකියි. එකල්හි උභයාර්ථයද නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්ර ගැන කියනුම කවරේද? “බ්රහ්මණය, යම්සේ නොපැහැදුනු කැළඹුනු මඩවූ අඳුරු තැනක තබන ලද දිය බඳුනක් වේද එහි ඇස් ඇති මිනිහෙක් ස්වකීය මුහුණ බලන්නේ ඇතිසැටි නොදන්නේද නොදක්නේද, බමුණ එපරිද්දෙන් විචිකිච්ඡාවෙන් මඩනාලද විචිකිච්ඡාවෙන් යුත් සිතින් වාසය කෙරේද, එකල්හි ආත්මාර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි පරාර්ථයද ඇතිසැටි නොදනියි. නොදකියි. එකල්හි උභයාර්ථයද ඇතිසැටි නොදනියි, නොදකියි. බොහෝ කාලයක් හදාරන ලද මන්ත්රයෝද නොවැටහෙත්. නොහදාළ මන්ත්ර ගැන කියනුම කිම? “බ්රාහ්මණය, යමක් හේතුකොට ගෙන නොහදාළ මන්ත්ර පමණක් නොව බොහෝ කලක් හදාරන ලද මන්ත්ර පවා නොවැටහෙයි නම් මේ එයට හේතුවයි, මේ එයට ප්රත්යයයි.