2. 6. 3.
අග්ගි සූත්‍රය
599. ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුවරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැනට එළඹියහ. එළඹ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙය කීහ: “මහණෙනි, මෙසේ කියන්නාවූ පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ඇවැත්නි, යම් වේලාවක සිත හැකුලුණේ වෙයිද, එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය නොවේද? එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය වේද? ඇවැත්නි, යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය නොවේද? එකල්හි කවර බොධ්‍යංගයන් වැඩීමට කාලය වේද? මහණෙනි, මෙසේ අසන ලද්දාහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ පිළිතුරු නොසපයන්නාහුය. වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? විෂය නොවූවෙක්හි අසන ලද ප්‍රශ්නයක් බැවිනි. මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙව් මිනිසුන් කෙරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මේ ශාසනයෙන් ඇසුවකු හෝ හැර යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත් ගන්නේද එබඳු කෙනෙකු මම නොදකිමි.
“මහණෙනි. යම් කාලයක සිත හැකුලුණේ වේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේ වෙයි. ඒ හැකුලුණ සිත මේ ධර්මයන්ගෙන් නගාසිටුවීමට දුෂ්කර වෙයි. “මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් තෙම ස්වල්ප ගින්නක් දල්වනු කැමැත්තේ වේද, හෙතෙම එහි අමු තණකොළද දමන්නේය. අමු ගොමද දමන්නේය. අමු දරද දමන්නේය. තෙත වාතයද දෙන්නේය. පස්ද දමන්නේය. ඒ පුරුෂ තෙම ස්වල්ප ගින්න දල්වන්නට හැකිවන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.” “මහණෙනි, එපරිද්දෙන් යම් වේලාවක සිත හැකුලුණේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවෙයි. ඊට හේතුව කවරේද? මහණෙනි, සිත හැකුළුණේ වෙයි. ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් නගාසිටුවීමට නොහැකි වෙයි.
“මහණෙනි, යම් කාලයක සිත හැකුලුණේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේ ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් මනාකොට නගාසිටුවන්නේ වෙයි. “මහණෙනි, යම්සේ වනාහි පුරුෂතෙම ස්වල්ප ගින්නක් දල්වනු කැමැත්තේ වෙයිද, හෙතෙම එහි වියලි තණද දමන්නේය. වියලුණ ගොමද දමන්නේය. වියලුණ දරද දමන්නේය. මුඛ වාතයද දෙන්නේය. පස් නොදමන්නේය. ඒ පුරුෂතෙම ස්වල්ප ගින්න දල්වන්නට හැක්කේද?” “ස්වාමීනි එසේය.” “මහණෙනි, එපරිද්දෙන් යම් කාලයක සිත හැකුලුණේ වේද එකල්හි ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත හැකුළුණේය. ඒ හැකුළුණු සිත මේ ධර්මයන්ගෙන් මනාකොට නගාසිටුවීමට හැකි වෙයි.
“මහණෙනි, යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් සන්සිඳවීමට දුෂ්කර වෙයි. “මහණෙනි, යම්සේ වනාහි මහත් ගිනි කඳක් නිවනු කැමැත්තේ වෙයිද හෙතෙම එහි වියලි තණද දමන්නේය. වියලි ගොමද දමන්නේය. වියලි දරද දමන්නේය. මුඛ වාතයද දෙන්නේය. පස් නොදමන්නේය. ඒ පුරුෂතෙම මහත් ගිනිකඳ නිවීමට හැකිවේද? - “ස්වාමීනි එය නොවේමය.” “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීමට කාලය නොවේ. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් සන්සිඳවීමට දුෂ්කරවෙයි.
“මහණෙනි, යම් කාලයක සිත විසිරගියේ වේද එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලයවෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිරගියේය. ඒ විසිර ගිය සිත මේ ධර්මයන්ගෙන් මනාකොට සන්සිඳුනේ වෙයි. මහණෙනි, යම්සේ වනාහි පුරුෂතෙම මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේද, හෙතෙම එහි අමු තණකොළද දමන්නේය. අමු ගොමද දමන්නේය. අමු දරද දමන්නේය. තෙත වාතයද දෙන්නේය. පස්ද විසුරවන්නේය. ඒ පුරුෂතෙම මහත් ගිනි කඳක් නිවන්ට හැක්කේ වේද?” - “එසේය ස්වාමීනි.” “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් කාලයක සිත විසිරගියේ වේද, එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, සිත විසිර ගියේය. ඒ විසිරගිය සිත මේ ධර්මයන්ගෙන් මනාකොට සන්සිඳුනේ වෙයි. මහණෙනි, සිහිය වනාහි සියළුතන්හි කැමතිවිය යුතුයයි මම කියමි.”
2. 6. 4.
මෙත්ත සූත්‍රය
600. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කෝලියවංශිකයන්ගේ හලිද්දවසන නම් නියම් ගමක්වීද එහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන හලිද්දවසන නම් නියම් ගමට පිඬු පිණිස ගියාහුය. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. ‘හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍යතීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නෙමු නම් යහපති’ කියායි. ඉක්බිති අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එකත්පසක හුන්හ. එකත්පසක හුන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ.