2. 5. 3.
3. මාර සූත්‍රය
“මහණෙනි, මම නුඹලාට මරසෙනග මඩින මාර්ගය කියන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, මරසෙනග මඩින මාර්ගය කවරේද? යම් මේ සප්ත බොධ්‍යංග කෙනෙක් වෙත්ද? (ඔව්හුය.) කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණෙනි, මේ මරසෙනග මඩින මාර්ගයයි” වදාළ සේක.
2. 5. 4.
4. දුප්පඤ්ඤ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කෙලතොළු මෝඩයා, කෙලතොළු මෝඩයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේද?” “මහණෙනි, සප්තබොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත පුරුදු නොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ බොධ්‍යාංග සත්දෙනා නොවඩනලද බැවින් නැවත නැවත පුරුදුනොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි” කියනු ලැබේ.
2. 5. 5.
5. පඤ්ඤව සූත්‍රය
“ස්වාමීනි, කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා, නුවණැති පුද්ගලයා යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා යයි කියනුලැබේද?” “මහණ, සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදු කරන ලද බැවින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායි” කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ බොධ්‍යංග සත්දෙනා වැඩීමෙන් නැවත නැවත පුරුදු කිරීමෙන් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායයි” කියනු ලැබේ.
2. 5. 6.
6. දළිද්ද සූත්‍රය
“ස්වාමීනි, දිළින්දා, දිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් දිළින්දායයි කියනුලැබේද?” “මහණ, සප්ත සම්බොධ්‍යංගයන් නොවඩනලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනුලැබේ යයි” වදාළ සේක.
2. 5. 7.
7. අදළිද්ද සූත්‍රය
“ස්වාමීනි, නොදිළින්දා, නොදිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් නොදිළින්දා යයි කියනු ලැබේද?” “මහණ, සප්ත බොධ්‍යංගයන් වඩනලද බැවින් නැවත නැවත පුරුදු කරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.” කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදුකරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.