2. 5. 4.
4. දුප්පඤ්ඤ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කෙලතොළු මෝඩයා, කෙලතොළු මෝඩයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේද?” “මහණෙනි, සප්තබොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත පුරුදු නොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ බොධ්‍යාංග සත්දෙනා නොවඩනලද බැවින් නැවත නැවත පුරුදුනොකරනලද බැවින් කෙලතොළු මෝඩයෙකැයි” කියනු ලැබේ.
2. 5. 5.
5. පඤ්ඤව සූත්‍රය
“ස්වාමීනි, කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා, නුවණැති පුද්ගලයා යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයා යයි කියනුලැබේද?” “මහණ, සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදු කරන ලද බැවින් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායි” කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ බොධ්‍යංග සත්දෙනා වැඩීමෙන් නැවත නැවත පුරුදු කිරීමෙන් කෙලතොළු නොවූ නුවණැති පුද්ගලයායයි” කියනු ලැබේ.
2. 5. 6.
6. දළිද්ද සූත්‍රය
“ස්වාමීනි, දිළින්දා, දිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් දිළින්දායයි කියනුලැබේද?” “මහණ, සප්ත සම්බොධ්‍යංගයන් නොවඩනලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනු ලැබේ. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනුලැබේ යයි” වදාළ සේක.
2. 5. 7.
7. අදළිද්ද සූත්‍රය
“ස්වාමීනි, නොදිළින්දා, නොදිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් නොදිළින්දා යයි කියනු ලැබේද?” “මහණ, සප්ත බොධ්‍යංගයන් වඩනලද බැවින් නැවත නැවත පුරුදු කරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.” කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදුකරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.
2. 5. 8.
8. ආදිච්ච සූත්‍රය
“මහණෙනි, යම් මේ අරුණ නැඟීමක්වේද, එය උදාවන්නාවූ සූර්යයාට පෙරටුව ඇතිවන්නකි. ඒ පෙරනිමිත්තකි. මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් මේ කල්‍යාණමිත්‍රයන් ඇතිබවක් වේද, එය ඒ භික්ෂුවහට සප්ත බොධ්‍යංගයන් ඉපදීමට පූර්වංගම පෙරනිමිත්තකි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වැඩෙන්නේය. සප්ත බොධ්‍යාංගයන් නැවත නැවත පුරුදුකරන්නේය යන මෙය කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව කැමතිවිය යුතුය. මහණෙනි, කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සප්ත බොධ්‍යාංගයන් වඩයිද, නැවත නැවත පුරුදු කරයිද? “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සතිසම්බොජ්ඣාංගය වඩයි. “මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොධ්‍යංගය වඩයි. “මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොධ්‍යංගය වඩයි. “මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොධ්‍යංගය වඩයි. “මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොධ්‍යංගය වඩයි. “මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොධ්‍යංගය වඩයි. “මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොධ්‍යංගය වඩයි. “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සප්ත බොධ්‍යංගයන් වඩයි, නැවත නැවත පුරුදු කරයි.”
2. 5. 9.
9. අංග සූත්‍රය
“මහණෙනි, අධ්‍යාත්මික අංගයක් වශයෙන් සප්ත බොධ්‍යාංගයන් ලැබීම පිණිස මේ නුවණින් මෙනෙහි කිරීම යම්සේද එබඳුවූ අන් එකම අංගයකුදු මම නුවණැසින් නොදකිමි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වඩන්නේය, බහුල කරන්නේය යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙහි යෙදුනු භික්ෂුවටම කැමති විය යුතුය. මහණෙනි, කෙසේ නම් නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්ත වූ මහණතෙම සප්ත බොධ්‍යංගයන් වඩයිද? සප්ත බොධ්‍යාංගයන් බහුල කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සතිසම්බොජ්ඣාංගය වඩයි. ... පෙ ... විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොධ්‍යංගය වඩයි. “මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණතෙමේ සප්ත බොධ්‍යාංගයන් වඩයි. සප්ත බොධ්‍යාංගයන් බහුලකෙරේයයි” වදාළසේක.
2. 5. 10.
10. දුතිය අංග සූත්‍රය
“මහණෙනි, බාහිර අංගයක් වශයෙන් සප්ත බොධ්‍යාංගයන් ඉපදීම පිණිස මේ කල්‍යාණ මිත්‍රයන් ඇතිබව යම්සේද? එබඳුවූ අන් එකම අංගයක් නුවණැසින් මම නොදකිමි. මහණෙනි, සප්ත බොධ්‍යාංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යාංගයන් බහුල කරන්නේය යන මෙය කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුවටම කැමති විය යුතුය. මහණෙනි කෙසේ නම් කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුතෙම සප්ත බොධ්‍යාංගයන් වඩන්නේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සතිසම්බොජ්ඣාංගය වඩයි. ... පෙ ... විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොධ්‍යංගය වඩයි. “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයන් ඇති මහණතෙම සත් බොධ්‍යාංගයන් වඩයි. බහුල කෙරේයයි” වදාළසේක.
පස්වෙනි චක්‍රවර්ති වර්ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
විධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සහ අංග සූත්‍ර දෙකයි.