2. 4. 9.
9. මහාරුක්ඛ සූත්රය
220. “මහණෙනි, යම් ගසක් යටකර ගෙන වැඩුණාහුද ඒ ගස නැමී පාත්වී වැටීයේද එවැනි කුඩා බීජ ඇත්තාවූ මහත් කඳ ඇත්තාවූ ගස් යටකරගන්නාවූ මහා වෘක්ෂයෝ වෙත්. මහණෙනි, ඒ මහා වෘක්ෂයෝ කවරහුද? ඇසතුය, නුගය, පුලිලය, ඉඹුල්ය, කච්ඡකය, කපිත්ථනය (වඳුරු තන හා සමාන ඵල ඇති ගස් වර්ගයක්) යන මොහුය. මහණෙනි, මේ කුඩා බීජ ඇත්තාවූ මහත් කය ඇත්තාවූ ගස් යට කරන්නාවූ මහා වෘක්ෂයන් විසින් යටකරන ලද ගස් නැමී පාත්වී ඇදවැටෙත්ද
මහණෙනි, එපරිද්දෙන් මෙහි යම් කුලපුත්රයෙක් යම්බඳුවූ කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම පැවිදි වෙයිද, හෙතෙම එවැනිවූ කාමයන්ගෙන් හෝ ඊට වැඩිතරම් කාමයන්ගෙන් හෝ යටකරන ලදුව නැමී පාත්වී ඇදවැටෙන්නේය.
“මහණෙනි, සිත යටකරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ ප්රඥාව දුර්වල කරන්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්, මහණෙනි, කාමච්ඡන්දය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නෙකි. මහණෙනි, ව්යාපාදය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නෙකි. මහණෙනි, ථින මිද්ධය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, විචිකිච්ඡාව සිත යටකරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, මේ පස් දෙන සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නාහුය.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ සිත යට නොකරන්නාවූ ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ මාර්ගඵල ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මේ බොධ්යංග ධර්ම සතකි. ඒ සත කවරේද යත්? “මහණෙනි, වඩනලද්දාවූ බහුලව කරනලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, සතිසම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂකිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩනලද්දාවූ, බහුලවකරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, ධම්මවිචය සම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩනලද්දාවූ, බහුලවකරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, විරිය සම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩනලද්දාවූ, බහුලව කරන ලද්දාවූ සිත මැඩගෙන නොසිටින්නාවූ, පීති සම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ බහුලව කරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, පස්සද්ධි සම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුලව කරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, සමාධි සම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ, බහුලව කරන ලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ, උපෙක්ඛා සම්බොධ්යංගය අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතියි. “මහණෙනි, වඩන ලද්දාවූ බහුලව කරනලද්දාවූ, ආවරණයක් නොවූ, වැසීමක් නොවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ මේ සප්ත බොධ්යාංගයෝ අර්හත් මාර්ග ඵලයන් ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්” යනුයි.
2. 4. 10.
10. නීවරණ සූත්රය
221. “මහණෙනි, අන්ධභාවය ඇති කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥාන බව ඇති කරන්නාවූ, ප්රඥාව නැති කරන්නාවූ, දුක්ඛ පාක්ෂිකවූ, නිවන් පිණිස නොපවත්නාවූ මේ නීවරණ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්? “මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥාන බව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නො පවතින්නකි. “මහණෙනි, ව්යාපාද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, ථිනමිද්ධ නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, උද්ධච්චකුක්කුච්ච නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, විචිකිච්ඡා නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, මේ නීවරණයෝ පස්දෙන වනාහි අන්ධභාවය ඇතිකරන, නුවණැස නැති කරන, අඥානබව ඇතිකරන ප්රඥාව නැතිකරන දුක්ඛපාක්ෂිකවූ නිවන් පිණිස නොපවත්නාවූ ධර්මයෝවෙති.
“මහණෙනි, නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන ප්රඥාව දියුණුකරන, දුක්ඛ පාක්ෂිකනොවූ නිවන් පිණිස පවත්නාවූ මේ බොධ්යංගයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත කවරේදයත්; “මහණෙනි, සති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, විරිය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, පීති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, සමාධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන්පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, මේ බොධ්යංගයෝ සත්දෙන නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයෝ වෙත්යයි” වදාළසේක.
සතරවෙනි නීවරණ වර්ගය නිමි.
තත්රුද්දානං:
කුසල සූත්ර දෙක ද, කිලෙස, අනාවරණ, යොනිසො, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ සහ නීවරණ සූත්රය ද වේ.