2. 4. 10.
10. නීවරණ සූත්රය
221. “මහණෙනි, අන්ධභාවය ඇති කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥාන බව ඇති කරන්නාවූ, ප්රඥාව නැති කරන්නාවූ, දුක්ඛ පාක්ෂිකවූ, නිවන් පිණිස නොපවත්නාවූ මේ නීවරණ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්? “මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥාන බව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නො පවතින්නකි. “මහණෙනි, ව්යාපාද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, ථිනමිද්ධ නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, උද්ධච්චකුක්කුච්ච නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, විචිකිච්ඡා නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි. “මහණෙනි, මේ නීවරණයෝ පස්දෙන වනාහි අන්ධභාවය ඇතිකරන, නුවණැස නැති කරන, අඥානබව ඇතිකරන ප්රඥාව නැතිකරන දුක්ඛපාක්ෂිකවූ නිවන් පිණිස නොපවත්නාවූ ධර්මයෝවෙති.
“මහණෙනි, නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන ප්රඥාව දියුණුකරන, දුක්ඛ පාක්ෂිකනොවූ නිවන් පිණිස පවත්නාවූ මේ බොධ්යංගයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත කවරේදයත්; “මහණෙනි, සති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, විරිය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, පීති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, සමාධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන්පිණිස පවතින ධර්මයකි. “මහණෙනි, මේ බොධ්යංගයෝ සත්දෙන නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයෝ වෙත්යයි” වදාළසේක.
සතරවෙනි නීවරණ වර්ගය නිමි.
තත්රුද්දානං:
කුසල සූත්ර දෙක ද, කිලෙස, අනාවරණ, යොනිසො, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ සහ නීවරණ සූත්රය ද වේ.
5. චක්කවත්ති වර්ගය
2. 5. 1.
1. විධා සූත්රය
“මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ වූවාහුද, (ඔව්හු) තුන්වැදෑරුම් මානය දුරුකළාහුය. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ වෙත්ද (ඔවුහු) තෙවැදෑරුම් මානය දුරුකරන්නාහ. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. මහණෙනි, දැන් යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ වෙත්ද, (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරු කරත්. ඒ, එම සියල්ලෝම සත්වැදෑරුම් බොධ්යංගයන් වඩනලද බැවිනි. නැවත නැවත පුරුදුකරනලද බැවිනි. කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ වූවාහුද (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරුකළාහුය. ඒ, එම සියල්ලෝම මේ බොධ්යංගයන් සත්දෙන වඩන ලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි. අනාගත කාලයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ වෙත්ද, (ඔව්හු) තෙවැදෑරුම් මානය දුරු කරන්නාහ. ඒ, එම සියල්ලෝම මේ බොධ්යංගයන් සත්දෙන වඩනලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි. මේ කාලයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ වෙත්ද, (ඔව්හු) තෙවදෑරුම් මානය දුරුකෙරෙත්. ඒ, එම සියල්ලෝම මේ සප්ත බොජ්ඣංගයන් වඩන ලද බැවිනි. නැවත නැවත පුරුදු කරන ලද බැවිනි’යි වදාළ සේක.
2. 5. 2.
2. චක්කවත්ති සූත්රය
“මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සප්ත රත්නයන්ගේ පහළවීම වෙයි. කවර සප්තරත්නයක්හුගේද? චක්රරත්නයාගේ පහළවීම වෙයි. හස්ති රත්නයාගේ පහළවීම වෙයි. අශ්වරත්නයාගේ පහළවීම වෙයි. මාණික්ය රත්නයාගේ පහළවීම වෙයි. ස්ත්රී රත්නයාගේ පහළවීම වෙයි. ගෘහපති රත්නයාගේ පහළවීම වෙයි. පරිනායක (පුත්ර) රත්නයාගේ පහළවීම වෙයි. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සප්ත රත්නයාගේ පහලවීම වෙයි. “මහණෙනි, අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් සත් වැදෑරුම් බොධ්යංග රත්නයන්ගේ පහළවීම වෙයි. කවර සතක්හුගේද යත්, සති සම්බොධ්යංග රත්නයාගේ පහලවීම වෙයි. ධම්ම විචය සම්බොජ්ඣංග රත්නයාගේ පහළවීම වෙයි. වීර්ය සම්බොධ්යංග රත්නයාගේ පහළවීමවෙයි. ප්රීති සම්බොධ්යංග රත්නයාගේ පහළවීමවෙයි. පස්සද්ධි සම්බොධ්යංග රත්නයාගේ පහළවීම වෙයි. සමාධි සම්බොජ්ඣංග රත්නයාගේ පහළවීම වෙයි. උපෙක්ඛා සම්බොධ්යංගරත්නයාගේ පහළවීම වෙයි. මහණෙනි, අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සත් බොධ්යංගරත්නයාගේ පහළවීම වේයයි” වදාළේය.
2. 5. 3.
3. මාර සූත්රය
“මහණෙනි, මම නුඹලාට මරසෙනග මඩින මාර්ගය කියන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, මරසෙනග මඩින මාර්ගය කවරේද? යම් මේ සප්ත බොධ්යංග කෙනෙක් වෙත්ද? (ඔව්හුය.) කවර සතක්දයත්? සතිසම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොවුන්ය. “මහණෙනි, මේ මරසෙනග මඩින මාර්ගයයි” වදාළ සේක.