2. 2. 9.
අරිය සූත්‍රය
565. “මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්. ඒ සත කවරේදයත්: සතිසම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගයයි. මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්.”
2. 2. 10.
නිබ්බිදා සූත්‍රය
566. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්තබොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සංසිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සත කවරේදයත්: සතිසම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගයයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්ත බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සන්සිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්.”
දෙවෙනි ගිලාන වර්ගයයි.
එහි උද්දානය:
පාණ, සුරිය උපමා දෙක, අපර ගිලාන තුන, අපාර, ආරද්ධ, අරිය සහ නිබ්බිදා යැයි (මෙහි සූත්‍ර දහයකි).
3. උදායි වර්ගය
2. 3. 1.
බෝධාය සූත්‍රය
202. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ‘ස්වාමීනි, බොජ්ඣංගයෝ බොජ්ඣංගයෝයි කියනු ලැබෙත්. ස්වාමීනි, කෙතෙක් කරුණකින් බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද?” යනුයි. “මහණ, අවබෝධය පිණිස පවතිත්ද එබැවින් බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත්. මේ ශාසනයෙහි මහණ තෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, නො ඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නො ඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළා වූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණ, අවබෝධය පිණිස පවතිත්ද එබැවින් බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත් යයි” වදාළසේක.
2. 3. 2.
දෙසනා සූත්‍රය
203. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, මේ සප්තබොධ්‍යංගයන් දේශනාකරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්? (මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.) “මහණෙනි, මොවුහු වනාහි සප්ත බොධ්‍යංගයෝයි.
2. 3. 3.
ඨාන සූත්‍රය
මහණෙනි, කාමරාගයට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ද බහුලබව පිණිස, විපුලබව පිණිසද පවතියි. මහණෙනි, ක්‍රෝධයට හේතුවූ අරමුණු මෙනෙහිකිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ක්‍රෝධයද උපදියි. උපන්නාවූ ක්‍රෝධයද බහුල බව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, සිතේ හා චෛතසිකයන්ගේ අලසබවට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසබවද උපදියි. උපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසකම බහුලබව පිණිස මහත් බව පිණිසද පවතියි. “මහණෙනි, සිතේ නොසන්සුන්බවට හා පසුතැවීමට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ නොසන්සුන්බව හා පසුතැවීමද උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම බහුලබව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, බුද්ධාදී අටතැන සැකයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදී අටතැන සැකය බහුල බව පිණිස මහත්බව පිණිසද පවතියි.