2. 2. 10.
නිබ්බිදා සූත්‍රය
566. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්තබොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සංසිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සත කවරේදයත්: සතිසම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගයයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්ත බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සන්සිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්.”
දෙවෙනි ගිලාන වර්ගයයි.
එහි උද්දානය:
පාණ සූත්‍රය, සුරියූපම සූත්‍ර දෙක, අනෙක් ගිලාන සූත්‍ර තුන, අපාර, ආරද්ධ, අරිය, නිබ්බිදා සූත්‍ර සතර ද යි (සූත්‍ර දහයකි).
3. උදායි වර්ගය
2. 3. 1.
බෝධාය සූත්‍රය
567. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, ‘බොජ්ඣංගයෝ, බොජ්ඣංගයෝ’ යි කියනු ලැබෙත්. ස්වාමීනි, කෙතෙක් කරුණකින් බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත් ද?” “මහණ, අවබෝධය පිණිස පවතිත්. එහෙයින් බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත්. මහණ, මේ ශාසනයෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, නොඇලීම ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සති සම්බොජ්ඣංගය වඩයි -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණ, අවබෝධය පිණිස පවතිත්. එහෙයින් බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත්.”
2. 3. 2.
දෙසනා සූත්‍රය
568. “මහණෙනි, මේ සප්තබොධ්‍යංගයන් දේශනාකරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්? සතිසම්බොජ්ඣංගය -පෙ- උපේක්ඛාසම්බොජ්ඣංගය. මහණෙනි, මොවුහු වනාහි සප්ත බොධ්‍යංගයෝයි.”
2. 3. 3.
ඨාන සූත්‍රය
569. මහණෙනි, කාමරාගයට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ද බහුලබව පිණිස, විපුලබව පිණිසද පවතියි. මහණෙනි, ක්‍රෝධයට හේතුවූ අරමුණු මෙනෙහිකිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ක්‍රෝධයද උපදියි. උපන්නාවූ ක්‍රෝධයද බහුල බව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, සිතේ හා චෛතසිකයන්ගේ අලසබවට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසබවද උපදියි. උපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසකම බහුලබව පිණිස මහත් බව පිණිසද පවතියි. “මහණෙනි, සිතේ නොසන්සුන්බවට හා පසුතැවීමට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ නොසන්සුන්බව හා පසුතැවීමද උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම බහුලබව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, බුද්ධාදී අටතැන සැකයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදී අටතැන සැකය බහුල බව පිණිස මහත්බව පිණිසද පවතියි.