2. 2. 6.
තතිය ගිලාන සූත්රය
562. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ ගිලන්වූවෝ, දුකට පැමිණියෝ, දැඩි ගිලන් බවට පැමිණියෝ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“චුන්දය, බොජ්ඣංග ධර්මයෝ තොපට වැටහෙත්වා.” “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද මේ සප්ත බොධ්යංග ධර්මයෝ චතුස්සත්යයන් දැන ගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්? ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට කියන ලද, වඩන ලද, බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැනගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගය චතුස්සත්යයන් දැන ගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද මේ සප්ත බොධ්යංග ධර්මයෝ චතුස්සත්යයන් දැන ගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්.”
“චුන්දයනි, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්යයහ. චුන්දයනි, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්යයහ.”
ආයුෂ්මත් මහා චුන්ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෘෘන් වහන්සේ (එය) පිළිගත් සේක. භාග්යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. භාග්යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහව ගියේය.
2. 2. 7.
අපාර සූත්රය
563. “මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් මේ සප්ත බොධ්යංග වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතක්ද යත්; සති සම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. මහණෙනි, මේ සප්ත බොධ්යංග ධර්මයන් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.” භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා, නැවත මෙසේද වදාළසේක:
1. “මිනිසුන් අතුරෙහි යම් ජනයෝ පරතෙරට හෙවත් නිවනට යන්නාහු වෙත්ද, එබඳු ජනයෝ ස්වල්පයහ. නැවත අන්යවූ ප්රජාතොමෝ (සක්කාය නමැති) මෙතරටම නැවත නැවත දුවන්නීය.”
2. “යම් කෙනෙක් වනාහි මනාකොට වදාළ ධර්මයෙහි, ධර්මයට අනුව පවතින්නෝ වෙත්ද, ඒ ජනයෝ එතෙර වීමට ඉතා දුෂ්කරවූ කෙලෙස් මරුට අයත්වූ ත්රෛභූමක වෘත්තය (ඉක්මවා) නිවනට පැමිණෙන්නාහුය.”
3. “නුවණැත්තේ අකුසල ධර්මය හැර කුසල ධර්මය වඩන්නේය. ආලයෙන් හෙවත් ගිහි ගෙයින් නික්ම, ගෙයක් නැති පැවිද්දට පැමිණ, යම් තැනක කැමති වීමට දුෂ්කරද,”
4. “ඒ නිවනෙහි කැමතිවන්නේය. නුවණැත්තේ කාමයන් දුරුකොට රාගයෙන් කිසි පළිබෝධයක් නැත්තෙක්ව තමන් සිත කිලුටුකරන ධර්මයන්ගෙන් පිරිසිදු කරන්නේය.”
5. “යම් කෙනෙකුන්ගේ සිත සම්බෝධි අංගයන්හි මනාකොට වඩනලදද, (කිසිවක් සිතින්) දැඩිසේ නොගෙන ග්රහණයට විරුද්ධවූ නිවනෙහි යම් රහත් කෙනෙක් ඇලුනාහුද කාන්තිමත්වූ, නැතිකළ ආශ්රව ඇති ඒ උත්තමයෝ ලෝකයෙහි පිරිනිවියාහු නම් වෙත්.”