2. 2. 7.
අපාර සූත්‍රය
563. “මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් මේ සප්ත බොධ්‍යංග වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතක්ද යත්; සති සම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. මහණෙනි, මේ සප්ත බොධ්‍යංග ධර්මයන් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා, නැවත මෙසේද වදාළසේක:
1. “මිනිසුන් අතුරෙහි යම් ජනයෝ පරතෙරට හෙවත් නිවනට යන්නාහු වෙත්ද, එබඳු ජනයෝ ස්වල්පයහ. නැවත අන්‍යවූ ප්‍රජාතොමෝ (සක්කාය නමැති) මෙතරටම නැවත නැවත දුවන්නීය.”
2. “යම් කෙනෙක් වනාහි මනාකොට වදාළ ධර්මයෙහි, ධර්මයට අනුව පවතින්නෝ වෙත්ද, ඒ ජනයෝ එතෙර වීමට ඉතා දුෂ්කරවූ කෙලෙස් මරුට අයත්වූ ත්‍රෛභූමක වෘත්තය (ඉක්මවා) නිවනට පැමිණෙන්නාහුය.”
3. “නුවණැත්තේ අකුසල ධර්මය හැර කුසල ධර්මය වඩන්නේය. ආලයෙන් හෙවත් ගිහි ගෙයින් නික්ම, ගෙයක් නැති පැවිද්දට පැමිණ, යම් තැනක කැමති වීමට දුෂ්කරද,”
4. “ඒ නිවනෙහි කැමතිවන්නේය. නුවණැත්තේ කාමයන් දුරුකොට රාගයෙන් කිසි පළිබෝධයක් නැත්තෙක්ව තමන් සිත කිලුටුකරන ධර්මයන්ගෙන් පිරිසිදු කරන්නේය.”
5. “යම් කෙනෙකුන්ගේ සිත සම්බෝධි අංගයන්හි මනාකොට වඩනලදද, (කිසිවක් සිතින්) දැඩිසේ නොගෙන ග්‍රහණයට විරුද්ධවූ නිවනෙහි යම් රහත් කෙනෙක් ඇලුනාහුද කාන්තිමත්වූ, නැතිකළ ආශ්‍රව ඇති ඒ උත්තමයෝ ලෝකයෙහි පිරිනිවියාහු නම් වෙත්.”
2. 2. 8.
ආරද්ධ සූත්‍රය
564. “මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් නොගන්නා (වරදන) ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවතින්නාවූ ආර්ය මාර්ගය පටන්නොගන්නා (වරදන) ලද්දේය. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය තෙම පටන් ගන්නා ලද්දේය. ඒ සත කවරේද යත්? සතිසම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගයයි. මහණෙනි, යම් කිසිවෙකු විසින් මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන්නොගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය පටන් නොගන්නා ලද්දේය. මහණෙනි, යම් කිසිවෙකු විසින් මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය තෙම පටන් ගන්නා ලද්දේය.”
2. 2. 9.
අරිය සූත්‍රය
565. “මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්. ඒ සත කවරේදයත්: සතිසම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගයයි. මහණෙනි, වඩනලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආර්යවූ, නෛයර්යානිකවූ මේ සප්ත බොධ්‍යංගයෝ එය කරන්නහුගේ දුක් මනාකොට නැතිකිරීමට පමුණුවත්.”
2. 2. 10.
නිබ්බිදා සූත්‍රය
566. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්තබොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සංසිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සත කවරේදයත්: සතිසම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣංගයයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්ත බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සන්සිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්.”
දෙවෙනි ගිලාන වර්ගයයි.
එහි උද්දානය:
පාණ, සුරිය උපමා දෙක, අපර ගිලාන තුන, අපාර, ආරද්ධ, අරිය සහ නිබ්බිදා යැයි (මෙහි සූත්‍ර දහයකි).