2. 2. 5.
දුතිය ගිලාන සූත්‍රය
561. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට කලන්දක නිවාප නම්වූ වෙළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇත්තේ දැඩි ගිලන්වූයේ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් යම්තැනකද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද අස්නෙහි වැඩහුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට මේ කාරණය වදාළසේක: “කිම? මොග්ගල්ලානය, ඔබට ඉවසිය හැකිද? කිම, ඉරියව් පැවැත්විය හැකිද, කිම දුක්ඛවේදනාවෝ දුරුවෙත්ද? නොනැගෙත්ද? අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේද?” “ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ බලවත් දුක් වේදනාවෝ වැඩෙන්නාහ. අඩු නොවන්නාහ. වැඩිවන බව පෙනෙයි. අඩුවන බව නොපෙනෙයි.”
“මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද්දාවූ, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ සප්ත බොජ්ඣංගයෝ චතුස්සත්‍යයන්ගේ දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරනලද සතිසම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩන ලද බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි -පෙ- උපේක්ෂා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩනලද බහුල කරන ලද මේ සප්ත සම්බොජ්ඣංගයෝ චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතිත්.”
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. සුගතයන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවිය. මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගිට්ටේය. මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ ඒ රෝගය එපරිද්දෙන් දුරුවූයේ විය.
2. 2. 6.
තතිය ගිලාන සූත්‍රය
562. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ගිලන්වූවෝ, දුකට පැමිණියෝ, දැඩි ගිලන් බවට පැමිණියෝ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“චුන්දය, බොජ්ඣංග ධර්මයෝ තොපට වැටහෙත්වා.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට කියන ලද, වඩන ලද, බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්.”
“චුන්දයනි, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. චුන්දයනි, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ.”
ආයුෂ්මත් මහා චුන්ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෘෘන් වහන්සේ (එය) පිළිගත් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහව ගියේය.
2. 2. 7.
අපාර සූත්‍රය
563. “මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් මේ සප්ත බොධ්‍යංග වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතක්ද යත්; සති සම්බොජ්ඣංගය -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. මහණෙනි, මේ සප්ත බොධ්‍යංග ධර්මයන් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නම් මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා, නැවත මෙසේද වදාළසේක:
1. “මිනිසුන් අතුරෙහි යම් ජනයෝ පරතෙරට හෙවත් නිවනට යන්නාහු වෙත්ද, එබඳු ජනයෝ ස්වල්පයහ. නැවත අන්‍යවූ ප්‍රජාතොමෝ (සක්කාය නමැති) මෙතරටම නැවත නැවත දුවන්නීය.”
2. “යම් කෙනෙක් වනාහි මනාකොට වදාළ ධර්මයෙහි, ධර්මයට අනුව පවතින්නෝ වෙත්ද, ඒ ජනයෝ එතෙර වීමට ඉතා දුෂ්කරවූ කෙලෙස් මරුට අයත්වූ ත්‍රෛභූමක වෘත්තය (ඉක්මවා) නිවනට පැමිණෙන්නාහුය.”
3. “නුවණැත්තේ අකුසල ධර්මය හැර කුසල ධර්මය වඩන්නේය. ආලයෙන් හෙවත් ගිහි ගෙයින් නික්ම, ගෙයක් නැති පැවිද්දට පැමිණ, යම් තැනක කැමති වීමට දුෂ්කරද,”
4. “ඒ නිවනෙහි කැමතිවන්නේය. නුවණැත්තේ කාමයන් දුරුකොට රාගයෙන් කිසි පළිබෝධයක් නැත්තෙක්ව තමන් සිත කිලුටුකරන ධර්මයන්ගෙන් පිරිසිදු කරන්නේය.”
5. “යම් කෙනෙකුන්ගේ සිත සම්බෝධි අංගයන්හි මනාකොට වඩනලදද, (කිසිවක් සිතින්) දැඩිසේ නොගෙන ග්‍රහණයට විරුද්ධවූ නිවනෙහි යම් රහත් කෙනෙක් ඇලුනාහුද කාන්තිමත්වූ, නැතිකළ ආශ්‍රව ඇති ඒ උත්තමයෝ ලෝකයෙහි පිරිනිවියාහු නම් වෙත්.”