2. 2. 4.
ගිලාන සූත්‍රය
560. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ලෙඩින් පෙළුනේ, දුකට පැමිණියේ දැඩි ගිලන්වූයේ පිප්ඵලි ගුහාවෙහි වැඩ වාසය කරන්නාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණිසේක. පැමිණ පනවනලද අස්නෙහි වැඩහුන්හ. හිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට මේ කාරණය වදාළසේක: “කච්චි තෙ කස්සප, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා? පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? (කිමෙක්ද? කස්සප ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක් වේදනාවෝ පිරිහෙත්ද? අඩුවෙත්ද? කිම දියුණු නොවෙත්ද? ඒ දුක් වේදනාවන්ගේ කෙළවරක් නොපෙනෙත්දැයි?)” “ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, සතර ඉරියව්වෙහි සිරුර පැවැත්විය නොහැකිය. මාගේ දුක් වේදනාවෝ බලවත්හ, වැඩෙන්නාහ. දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි. අඩුවක් නොපෙනෙයි.”
“කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල වශයෙන් කරන ලද, මේ සත්වැදෑරුම් බොධ්‍යංග ධර්මයෝ චතුස්සත්‍ය අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්? කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, චතුස්සත්‍යයන් අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද ධර්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද විරිය සම්බොජ්ඣංගය සතර චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධ පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද පීති සම්බොජ්ඣංගය චතුස්සත්‍යය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල වශයෙන් කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍ය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සමාධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද උපෙක්ඛා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මේ මා විසින් මැනවින් පවසන ලද, වඩන ලද, බහුල කරන ලද සප්ත බෝධ්‍යංගයෝ චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත් යයි”
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣංග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස, බොජ්ඣංග ධර්මයෝ ඒකාන්තයෙන් මැනවැයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගීසිටියහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහව ගියේය.
2. 2. 5.
දුතිය ගිලාන සූත්‍රය
561. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට කලන්දක නිවාප නම්වූ වෙළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇත්තේ දැඩි ගිලන්වූයේ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් යම්තැනකද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද අස්නෙහි වැඩහුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට මේ කාරණය වදාළසේක: “කිම? මොග්ගල්ලානය, ඔබට ඉවසිය හැකිද? කිම, ඉරියව් පැවැත්විය හැකිද, කිම දුක්ඛවේදනාවෝ දුරුවෙත්ද? නොනැගෙත්ද? අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේද?” “ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ බලවත් දුක් වේදනාවෝ වැඩෙන්නාහ. අඩු නොවන්නාහ. වැඩිවන බව පෙනෙයි. අඩුවන බව නොපෙනෙයි.”
“මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද්දාවූ, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ සප්ත බොජ්ඣංගයෝ චතුස්සත්‍යයන්ගේ දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරනලද සතිසම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩන ලද බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි -පෙ- උපේක්ෂා සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩනලද බහුල කරන ලද මේ සප්ත සම්බොජ්ඣංගයෝ චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතිත්.”
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. සුගතයන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවිය. මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගිට්ටේය. මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ ඒ රෝගය එපරිද්දෙන් දුරුවූයේ විය.
2. 2. 6.
තතිය ගිලාන සූත්‍රය
562. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ගිලන්වූවෝ, දුකට පැමිණියෝ, දැඩි ගිලන් බවට පැමිණියෝ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: