11. 6. 2.
වස්සවුත්ථ සූත්රය
1048. මා විසින් මෙසේ අසන ලදී. එකල සැවැත්නුවර වස්විසූ භික්ෂුවක් යම්කිසි කටයුත්තක් සඳහා කිඹුල්වත් පුරයට පැමිණියේ වෙයි. සැවැත්නුවරට වස්විසූ කිසියම් භික්ෂුවක් කිඹුල්වත් පුරයට පැමිණියේයයි කිඹුල්වත්පුර වාසී ශාක්යයෝ ඇසූහ. එකල කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ ඒ භික්ෂුව යම්තැනෙක්හිද, එතැනට ගියාහුය. එහි ගොස් ඒ භික්ෂුව වැඳ එක්පසෙක හුන්නාහ. එක්පසෙක හුන්නාවූ කිඹුල්වත්පුර වාසී ශාක්යයෝ ඒ භික්ෂුවට මේ කාරණය කීහ.
‘ස්වාමීනි, කිමෙක්ද? භාග්යවතුන්වහන්සේ නිරෝගිද, ශක්තිමත්ද?” “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙති.” “කිමෙක්ද? ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?” “ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත් වෙති.” “කිමෙක්ද? ස්වාමීනි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?” “ඇවැත්නි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙත්.” “ස්වාමීනි, ඔබ වහන්සේ විසින් මේ වස් කාලය තුළ භාග්යවතුන් වහන්සේගේ හමුවෙන් අසන ලද (භාග්යවතුන් වහන්සේගේ) හමුවෙන් පිළිගන්නා ලද කිසිවක් ඇත්තේද?” “ඇවැත්නි, මා විසින් භාග්යවතුන් වහන්සේගේ හමුවෙන් මේ කාරණය අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙන් මෙය පිළිගන්නා ලදී:
‘මහණෙනි, යම් භික්ෂු කෙනෙක් කෙලෙසුන් නැසීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්රඥාවද, මේ ආත්මයේදීම තුමූම විශිෂ්ට ඥානයෙන් දැන ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ භික්ෂූහු ස්වල්ප වෙති. යම් ඒ භික්ෂු කෙනෙක් ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඕපපාතික වූවාහු ඒ බඹලොවින් නැවත කාමලෝකයට නොඑන එහිම පිරිනිවෙන අනාගාමීහු වෙත්ද, ඔව්හුම බොහෝවෙත්’ යනුයි.
“ඇවැත්නි, මා විසින් වනාහි වෙනත් කරුණක්ද භාග්යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. සමීපයෙන් පිළිගන්නා ලදී. ඒ කුමක්ද? ‘යම් ඒ භික්ෂු කෙනෙක් ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකව එහිම පිරිනිවෙන නැවත කාම ලෝකයට නොඑන අනාගාමීහු වෙත්ද, ඔව්හු ස්වල්ප වෙති. යම් කෙනෙක් ත්රිවිධ සංයෝජනයන් නැසීමෙන් රාග දෝෂ මෝහයන් තුනී කිරීමෙන් නැවත එක්වරක්ම කාම ලෝකයට අවුත් පිරිනිවෙන සකෘදාගාමීහු වෙත්ද, ඔව්හුම ඉතා බොහෝ වෙත්.’
“ඇවැත්නි, මා විසින් භාග්යවතුන් වහන්සේ වෙතින් අනික් කරුණක්ද අසන ලදී. භාග්යවතුන් වහන්සේ වෙතින් පිළිගන්නා ලදී, ‘යම් භික්ෂු කෙනෙක් සංයෝජන තුනක් තුනී කිරීමෙන් රාග දෝෂ මෝහයන් තුනීකොට උත්පත්ති වශයෙන් නැවත වරක් මේ කාම ලෝකයට පැමිණෙන්නාවූ සකෘදාගාමීහු වෙත්ද, ඔව්හු ස්වල්ප වෙත්. යමෙක් තුමූ සංයෝජන තුනක් නැසීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියත ගති ඇත්තාවූ මතුමාර්ගඥාන බොධිය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූවාහු වෙත්ද, ඔව්හුම අතිශයින් බොහෝවෙතියි” වදාළසේක.
11. 6. 3.
ධම්මදින්න සූත්රය
1049. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උපාසක තෙමේ පන්සියයක් උපාසකයන් සමග භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ධම්මදින්න උපාසක තෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. [2] “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, අපට යමක් දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතීද එබන්දකින් අපට අවවාද කරන සේක්වා. අපට අනුශාසනය කරණ සේක්වා.” [3] “ධම්මදින්නයෙහි, එසේනම් මෙහිලා තොප විසින් මෙසේ හික්මවිය යුතුයි. තථාගතයන්වහන්සේ විසින් වදාළාවූ ගැඹුරු ධර්ම ඇති ගැඹුරු අර්ථ ඇති, ලොකොත්තරවූ සූන්යතා ධර්මයන්ගෙන් යුක්තවූ ඒ සූත්ර දේශනාවෙන්ද කලින් කල ඊට පැමිණ වාසය කරන්නෙමුයි ධම්මදින්නයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි’ වදාළසේක