11. සොතාපත්ති සංයුත්තය
1. වේළුද්වාර වර්ගය
11. 1. 1.
චක්කවත්තිරාජ සූත්රය
3769. [1] මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය.
[2] “මහණෙනි, හුදෙක් සක්විති රජතෙම සතර මහාද්වීපයට අධිපති වූ, රාජ්යය කරවා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදියිද, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙයිද ඒ සක්විති රජතෙම ඒ දෙව්ලොවදී දෙවඟනන් විසින් පිරිවරන ලද්දේ දිව්යමය වූ පඤ්චකාම ගුණයෙන් සම්පූර්ණවූයේ යුක්තවූයේ ඉන්ද්රියයන් පිනවයිද එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ නොවෙයි, එහෙයින් ඒ සක්විති රජ තෙම වනාහි නිරයෙන් නො මිදුනේම වෙයි. තිරිසන් යෝනියෙන් නො මිදුණේම වෙයි. ප්රෙත විෂයෙන් නොමිදුණේම වෙයි. නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපායෙන් නො මිදුණේ වෙයි. [3] ‘මහණෙනි, හුදෙක් ආර්ය්යශ්රාවකතෙම පිණ්ඩපාතයෙන් යැපෙයිද, කඩරෙදි දරයිද, එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ වෙයි, එහෙයින් ඒ ආර්ය්යශ්රාවකතෙම වනාහි නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් යෝනියෙන් මිදුණේ වෙයි. ප්රේත විෂයෙන් මිදුණේ වෙයි. නපුරු ගති ඇති, විසමවූ වැටීම් ඇති අපායෙන් මිදුණේ වෙයි.
[4] “කවර සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවකතෙම, ඒ භාග්යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක, සම්යක් සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක, ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්යය අවබෝධ කළසේක. භාග්යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්තවූයේ වෙයිද, [5] “ධර්මය තෙම භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්තවූයේ වෙයිද, [6] “භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්යව පිළිපන්නේය. යම් මේ පුරිස යුගසතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්රත්යය පිළිගැනීමට සුදුසු වූ සේක. ඇඳිළිකිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කෙතය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්තවූයේ වෙයිද, [7] “නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්ය්යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,
[8] “මහණෙනි, යම් සතරමහා දිවයින ලැබීමක් වේද, යම් ධර්ම සතරක් ලැබීමක් වේද, ඒ සතර මහා දිවයින ලැබීම මේ ධර්මසත ධර්මයන්ගේ ලැබීමෙන් සොළොස් කලාවෙන් කලාවකුදු නොවටීයයි” වදාළේය.
11. 1. 2.
බ්රහ්මචරියොගධ සූත්රය
3770. (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, ධර්මසතරකින් යුක්තවූ, ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, රහත්බව නියතවූ, රහත් බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද? “මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවකතෙම, ඒ භාග්යවතුන්වහන්සේ මෙසේත් අර්හත් වනසේක. සම්යක් සම්බුද්ධ වනසේක. විජ්ජාචරණසම්පන්න වනසේක සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිස ධම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්යය අවබෝධ කළසේක. භාග්යවත් වනසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්තවූයේ වෙයිද, “භාග්යවතුන් වහන්සේ විසින් සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙනඵල ඇත්තේය. කල්නොයවා විපාක දෙන්නේය. එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙනවෙනම දතයුත්තේ යයි මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්තවෙයිද, “භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය. ගරුබුහුමනට යොග්යව පිළිපන්නේය. යම් මේ පුරිස යුග සතරක් වෙත්ද, පුද්ගලයන් අටදෙනෙක් වෙත්ද මේ ශ්රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්රත්යය පිළිගැනීමට සුදුසු වූ සේක. අඤ්ජලිකර්මයට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය. මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්රසාදයෙන් යුක්තවූයේ වෙයි. නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ කැළල් නොවූ නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්රසංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවතින්නාවූ ආර්ය්යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද, “මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, රහත් බව නියතවූ, රහත්බව පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූයේ වෙයි.” භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මෙය වදාරා අනතුරුව සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේද වදාළසේක.
“යමෙක්හට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්රසාදයද, ධර්මය කෙරෙහි ප්රසාදයද, සංඝයා කෙරෙහි ප්රසාදයද, ආර්ය්යයන් කැමතිවූ සීලයද ඇත්තාහුද ඔවුහු සුදුසු කාලයෙහි ශාසන බ්රහ්මචර්ය්යාවෙහි බැස සිටි මතු මාර්ගත්රය හා යෙදුණ සැපයට සුදුසු කාලයෙහි පැමිණෙත් යනුයි.”
11. 1. 3.
ආබාධික දීඝාවූ සූත්රය
3771. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් උණවනයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවූ උපාසක තෙම පියාවන ජොතික නම් ගහපතියාහට කථාකොට මෙසේ කීය. [2] “ගහපතිය, ඔබ මෙහි එනු මැනවි. භාග්යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව ගොස් ‘ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකටපත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්යවතුන් වහන්සේගේ ශ්රී පාදයන් සිරසින් වඳීයයි’ කියා මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පාදය සිරසින් වඳිනු මැනවි (වැඳ) මෙසේත් කියන්න. ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක් නම් හොඳය’ කියායි.”