11. 6. 3.
ධම්මදින්න සූත්රය
1049. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උපාසක තෙමේ පන්සියයක් උපාසකයන් සමග භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ධම්මදින්න උපාසක තෙමේ භාග්යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. [2] “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, අපට යමක් දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතීද එබන්දකින් අපට අවවාද කරන සේක්වා. අපට අනුශාසනය කරණ සේක්වා.” [3] “ධම්මදින්නයෙහි, එසේනම් මෙහිලා තොප විසින් මෙසේ හික්මවිය යුතුයි. තථාගතයන්වහන්සේ විසින් වදාළාවූ ගැඹුරු ධර්ම ඇති ගැඹුරු අර්ථ ඇති, ලොකොත්තරවූ සූන්යතා ධර්මයන්ගෙන් යුක්තවූ ඒ සූත්ර දේශනාවෙන්ද කලින් කල ඊට පැමිණ වාසය කරන්නෙමුයි ධම්මදින්නයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි’ වදාළසේක
[4] “ස්වාමීනි, අඹුදරු ගැහැට සහිත ගිහිගෙයි වසන්නාවූ කසීරට උපන් සඳුන් කල්ක පරිභොග කරන්නාවූ මල් ගඳ විලවුන් දරන්නාවූ රන් රිදී පරිහරණය කරන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාළ ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇති සූන්යතා ප්රතිසංයුක්තවූ යම් ඒ සූත්රාන්ත කෙනෙක් වෙත්ද ඊට කලින් කල පැමිණ වාසය කිරීම යන මෙය පහසු නොවේ. ස්වාමීනි, භාග්යවතුන් වහන්ස පඤ්ච ශික්ෂාපදයෙහි පිහිටියාවූ අපට වැඩිමනත් ධර්මයක් දෙසන සේක්වායි කීය. ධම්මදින්නයෙනි, එසේ නම් තොප විසින් මෙසේ හික්මිය යුතුයි: අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්ත වන්නෙමු: 'ඒ භාග්යවතුන් වහන්සේ මෙසේද අරහත්ය... දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්යවත්ය' කියායි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ආර්ය කාන්ත වූ... සමාධිය පිණිස පවත්නා සීලයෙන් යුක්ත වන්නෙමු යයි. ධම්මදින්නයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
[9] “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් යම් ඒ සොතාපත්ති අංග සතරක් දේශනා කරන ලද්දාහුද, අප කෙරෙහි ඒ ධර්මයෝ ඇත්තාහ. ස්වාමීනි, අපි ඒ ධර්මයන්හි දක්නා ලබමු. මක්නිසාද යත් ස්වාමීනි, අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්ත වෙමු: 'ඒ භාග්යවතුන් වහන්සේ මෙසේද... භාග්යවත්ය' කියායි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ආර්ය කාන්ත වූ... සමාධිය පිණිස පවත්නා සීලයෙන් යුක්ත වෙමු" යි. [14] “ධම්මදින්නයෙනි, තොපට ලාභයකි. ධම්මදින්නයෙනි තොප විසින් යහපත් ලාභයක් ලබන ලදී. ධම්මදින්නයෙනි, සෝවාන් ඵලය ප්රකාශ කරන ලද්දේ වෙයි.
11. 6. 4.
ගිලාන සූත්රය
1050. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහි නිග්රෝධාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ සිවුරු මැසීම කරත්. සිව්රු මැසීම නිමවූ කල්හි භාග්යවතුන් වහන්සේ තුන්මසකින් චාරිකාවෙහි වඩින්නේය කියායි. මහානාම ශාක්යතෙම වනාහි බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්යවතුන් වහන්සේගේ සිව්රු මැසීම කරත්. නිමවූ සිවුර ඇති භාග්යවතුන් වහන්සේ තුන් මසකින් චාරිකාවෙහි වඩින්නේයයි ඇසුවේය. එකල මහානාම ශාක්යතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්යතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ ස්වාමීනි, බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්යවතුන් වහන්සේගේ සිවුරු මැසීම කරත්. නිමවන ලද සිවුර ඇති භාග්යවතුන් වහන්සේ තෙමසකින් චාරිකාවෙහි වඩින්නේය. යන මෙය මා විසින් අසනලදී. ස්වාමීනි නුවණැති (සෝවාන්වූ) උපාසකයෙක් විසින් රෝගීවූ දුක්ඛිතවූ දැඩි ගිලන්වූ නුවණැති (සෝවාන්වූ) උපාසකතෙම අවවාද කටයුතුය යන මෙය භාග්යවතුන් වහන්සේ වෙතින් නොම අසනලදී. භාග්යවතුන් වහන්සේ හමුවෙන් නොම පිළිගන්නා ලදී.” කියායි.