11. 5. 2.
2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3810. මහණෙනි, මේ පුන්‍ය ගංගා, කුසල ගංගා, සැප ගෙන දෙන්නා වූ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ... (පෙ)... බුද්ධ වන සේක, භගවත් වන සේක” කියායි. මේ පළමු පුන්‍ය ගංගාව ය, කුසල ගංගාව ය, සැප ගෙන දෙන්නේ ය. නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... “තවද මහණෙනි, දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ පිරිසිදු කරන ලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද මේ සතරවෙනි පුන්‍ය ගංගාව කුසල ගංගාවය. මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතර වෙත්.
“මහණෙනි, මේ පුන්‍ය ගංගා සතරින් කුශල ගංගා සතරින් සමන්විතවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට හේතුවූ මෙතරම් පුන්‍ය ගංගාවකි, කුශල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යව අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි. “මහණෙනි, යම්සේ වනාහි මේ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පඤ්ච මහා ගංගාවෝ යම් තැනෙක එක්වෙත්ද, සමවෙත්ද එතැන්හි ජලය මෙපමණ නැලි ගණනකි, නැලි සිය ගණනකි, නැලි දහස් ගණනකි, නැලි ලක්ෂ ගණනකියි ප්‍රමාණ කිරීමට පහසු නොවෙයි. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා ජලස්කන්ධයකි යන සංඛ්‍යාවටම පැමිණේද, මහණෙනි, එසේම මේ පුන්‍ය ගංගා සතරින් කුසල ගංගා සතරින් සමන්විතවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට කරුණුවූ මෙතරම් පුන්‍යගංගාවකි කුසල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි”. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය... ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළේය.
“මහත්වූ ජලය ඇති ප්‍රමාණ නොකළහැකි මහා විලක්වූ බොහෝ බියජනක රත්නයන්ට වාසස්ථානවූ සාගරය කරා ජන සමූහයා විසින් සේවනය කරන ලද ගලාබස්නාවූ බොහෝ ගංගාවෝ යම්සේ පැමිණෙද්ද
එපරිද්දෙන්ම ආහාර දෙන්නාවූද පානවර්ග හා වස්ත්‍ර දෙන්නාවූද සයන ආසන ඇඳ ඇතිරිලි දෙන්නාවූද නුවණැති මිනිසා කරා පුන්‍ය ධාරාවෝ ගලා යන ගංගා සාගරයට පැමිණෙන්නාහ.”
11. 5. 3.
3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
3811. මහණෙනි, මේ පුන්‍ය ගංගා, කුසල ගංගා, සැප ගෙන දෙන්නා වූ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ... (පෙ)... බුද්ධ වන සේක, භගවත් වන සේක” කියායි. මේ පළමු පුන්‍ය ගංගාව ය, කුසල ගංගාව ය, සැප ගෙන දෙන්නේ ය. නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... “තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නුවණැත්තේ වෙයිද උදය ව්‍යය දක්නා නුවණින් යුක්තවූයේ වෙයිද ආර්‍ය්‍යවූ විනිවිද දක්නාවූ මනාකොට දුක් ක්ෂය කරන්නාවූ නුවණින් යුක්තවූයේ වෙයිද සැපයට හේතුවූ මේ සතරවැනි පුන්‍ය ගංගාව කුසල ගංගාවය. “මහණෙනි, මේ සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති. මහණෙනි, සැපයට හේතුවූ මේ පුන්‍ය ගංගා සතරින් කුසල ගංගා සතරින් සමන්විතවූ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පින සැපයට හේතුවූ මෙතරම් පුන්‍ය ගංගාවකි කුසල ගංගාවෙකැයි ප්‍රමාණය කිරීම පහසුනොවේ. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා පුන්‍යස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත සාස්තෲන් වහන්සේ මෙසේ වදාළේය.
“සිත් කැමැත්තාවූ මාර්ග කුශලයෙහි පිහිටියාවූ යමෙක් නිවණට පැමිණීම පිණිස අර්හත් මාර්ගය වඩයිද, කෙලෙසුන් නැසීමෙහි ඇළුණු හෙතෙමේ ලැබූ අර්හත්ඵල සංඛ්‍යාත ධර්ම සාරය ඇත්තේ මරහු වෙත යන්නේයයි කම්පා නොවෙයි.”
11. 5. 4.
4. පඨම මහද්ධන සූත්‍රය
3812. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ. කවර සතරකින්ද, මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ යයි” වදාළේය.