5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
11. 5. 1.
1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
3809. මහණෙනි, මේ පුන්‍ය ගංගා, කුසල ගංගා, සැප ගෙන දෙන්නා වූ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් ද අරහත් වන සේක... (පෙ)... දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භගවත් වන සේක” කියායි. මේ පළමු පුන්‍ය ගංගාව ය, කුසල ගංගාව ය, සැප ගෙන දෙන්නේ ය. නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ආර්යයන් විසින් කැමති වන ලද, කඩ නො වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා සීලයෙන් යුක්ත වෙයි. මේ සතර වන පුන්‍ය ගංගාව ය, කුසල ගංගාව ය, සැප ගෙන දෙන්නේ ය. මහණෙනි, මොහු වනාහි සතර පුන්‍ය ගංගාවෝ ය, කුසල ගංගාවෝ ය, සැප ගෙන දෙන්නාහු ය.
[10] “මහණෙනි, මේ පුන්‍ය ගංගා සතරින් කුශල ගංගා සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට හේතුවූ මෙතරම් පුන්‍ය ගංගාවකි, කුශල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යව අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි. [11] “මහණෙනි, මහා සමුද්‍රයෙහි ජලය යම්සේ මෙපමණ නැලි ගණනකි. මෙපමණ නැලි සිය ගණනකි. මෙපමණ නැලි දහස් ගණනකි. මෙපමණ නැලි ලක්ෂගණනකියි ප්‍රමාණ කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය මහා ජලස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි. [12] “මහණෙනි, එසේම මේ පුන්‍ය ගංගා සතරින් කුසල ගංගා සතරින් සමන්විතවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට කරුණුවූ මෙතරම් පුන්‍යගංගාවකි කුසල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සුගතයන් වහන්සේ මෙසේ වදාරා නැවතද ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළේය.
[13] “මහත්වූ ජලය ඇති ප්‍රමාණ නොකළහැකි මහා විලක්වූ බොහෝ බියජනක රත්නයන්ට වාසස්ථානවූ සාගරය කරා ජන සමූහයා විසින් සේවනය කරන ලද ගලාබස්නාවූ බොහෝ ගංගාවෝ යම්සේ පැමිණෙද්ද
එපරිද්දෙන්ම ආහාර දෙන්නාවූද පානවර්ග හා වස්ත්‍ර දෙන්නාවූද සයන ආසන ඇඳ ඇතිරිලි දෙන්නාවූද නුවණැති මිනිසා කරා පුන්‍ය ධාරාවෝ ගලා යන ගංගා සාගරයට පැමිණෙන්නාහ.”
11. 5. 2.
2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3810. මහණෙනි, මේ පුන්‍ය ගංගා, කුසල ගංගා, සැප ගෙන දෙන්නා වූ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ... (පෙ)... බුද්ධ වන සේක, භගවත් වන සේක” කියායි. මේ පළමු පුන්‍ය ගංගාව ය, කුසල ගංගාව ය, සැප ගෙන දෙන්නේ ය. නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... “තවද මහණෙනි, දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ පිරිසිදු කරන ලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද මේ සතරවෙනි පුන්‍ය ගංගාව කුසල ගංගාවය. මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතර වෙත්.
“මහණෙනි, මේ පුන්‍ය ගංගා සතරින් කුශල ගංගා සතරින් සමන්විතවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට හේතුවූ මෙතරම් පුන්‍ය ගංගාවකි, කුශල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යව අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි. “මහණෙනි, යම්සේ වනාහි මේ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පඤ්ච මහා ගංගාවෝ යම් තැනෙක එක්වෙත්ද, සමවෙත්ද එතැන්හි ජලය මෙපමණ නැලි ගණනකි, නැලි සිය ගණනකි, නැලි දහස් ගණනකි, නැලි ලක්ෂ ගණනකියි ප්‍රමාණ කිරීමට පහසු නොවෙයි. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා ජලස්කන්ධයකි යන සංඛ්‍යාවටම පැමිණේද, මහණෙනි, එසේම මේ පුන්‍ය ගංගා සතරින් කුසල ගංගා සතරින් සමන්විතවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පින සැපයට කරුණුවූ මෙතරම් පුන්‍යගංගාවකි කුසල ගංගාවකියි ප්‍රමාණය කිරීම පහසු නොවේ. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා පුන්‍ය ස්කන්ධයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි”. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය... ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළේය.
“මහත්වූ ජලය ඇති ප්‍රමාණ නොකළහැකි මහා විලක්වූ බොහෝ බියජනක රත්නයන්ට වාසස්ථානවූ සාගරය කරා ජන සමූහයා විසින් සේවනය කරන ලද ගලාබස්නාවූ බොහෝ ගංගාවෝ යම්සේ පැමිණෙද්ද
එපරිද්දෙන්ම ආහාර දෙන්නාවූද පානවර්ග හා වස්ත්‍ර දෙන්නාවූද සයන ආසන ඇඳ ඇතිරිලි දෙන්නාවූද නුවණැති මිනිසා කරා පුන්‍ය ධාරාවෝ ගලා යන ගංගා සාගරයට පැමිණෙන්නාහ.”