11. 4. 9.
කාලිගොධා සූත්‍රය
3807. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත් පුර නිග්‍රොධාරාමයෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන කාලිගොධා නම්වූ ශාක්‍යාවගේ නිවෙස යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පනවනලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හි කාලිගොධා නම්වූ ශාක්‍යාව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක නම් එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නීය. එක්පසෙක හුන්නාවූ කාලිගොධා නම් ශාක්‍යාවට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
“ගොධාවෙනි කරුණු සතරකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ දුගතියට නොවැටීම ස්වභාවකොට ඇති නියත ගති ඇති මතු මාර්ගත්‍රය පිහිටකොට ඇති සෝවාන්වූ තැනැත්තියක් වන්නීය. කිනම් සතරකින්ද? ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොම ත්‍යාගය පිණිස මුදන ලද සිත් ඇත්තී පිරිසුදු කරන අත් ඇත්තී දීමෙහි ඇලුනී ඉල්වීමට සුදුසු වූවා දන් බෙදාදීමෙහි ඇලුනි පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වසයිද ගොධාවෙනි මේ කියන ලද කරුණු සතරින් යුත් ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ දුගතියට නොවැටීම ස්වභාවය කොට ඇති නියත ගති ඇති මතුමාර්ගත්‍රය පිහිටකොට ඇති සෝවාන් තැනැත්තියක් වෙයි.”
‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ශ්‍රොතාපත්තියංග සතරක් වදාළේය. ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහ. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවියයුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ. යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවෙමි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී. තමන් විසින් දැක්ක යුත්තාහ. පැවැත්මට අනතුරුව දෙන ඵල ඇත්තාහ. එව, බලව, යන විධානයට සුදුසුය, සිත්හි ඉපිද විය යුතුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා වෙන් වෙන් වශයෙන් දැක්ක යුතුය යනුවෙන් ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්ත වෙමි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. නොයෙක් පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවන් පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුදුසු පිළිවෙතට පිළිපන්නේය. යම් ඒ යුගල වශයෙන් සතර පුරුෂ කෙනෙක්වූ පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙලකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේය. මුදුනත් තබා වැඳීමට සුදුසුය, ලෝකයාගේ ඉතා උතුම්වූ පිංකෙතය යනුවෙන් සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්ත වෙමි. “ස්වාමීනි, සිය කුලයෙහි දියයුතු යම් කිසි වස්තුවක් වේද ඒ සියල්ල යහපත් ධර්මයන්ගෙන් යුත් සිල්වතුන් “විෂයෙහි බෙදන ලද්දේ වෙයි” ගොධාවෙනි, තොපට ලාභයකි. ගෙධාවෙනි, තොප විසින් යහපත් ලාභයක් ලබන ලදී. ගොධාවෙනි, තොප විසින් සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලදැයි” වදාළේය.
11. 4. 10.
නන්දිය සක්ක සූත්‍රය
3808. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ නන්දිය ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ශ්‍රොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද? ස්වාමීනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාම ප්‍රමාදව වාසය කරන්නෙකැයි කියනු ලැබේද?
“නන්දිය යමෙකුට සොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද මම ඔහු ආර්‍ය්‍යයන්ගෙන් බාහිරවූ පෘථග්ජන පක්ෂයෙහි සිටියෙකැයි කියමි. නන්දිය එතකුදු වුවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම්සේ ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද අප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද එය අසව, නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කෙසේ නම් ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද? “නන්දිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසලොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, “හෙතෙම බුදුන් කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ. සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්ත වූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.