11. 4. 10.
නන්දිය සක්ක සූත්රය
3808. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්යතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ නන්දිය ශාක්ය තෙම භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, යම් ආර්ය්යශ්රාවකයෙකුට ශ්රොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද? ස්වාමීනි, ඒ ආර්ය්යශ්රාවකයාම ප්රමාදව වාසය කරන්නෙකැයි කියනු ලැබේද?
“නන්දිය යමෙකුට සොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද මම ඔහු ආර්ය්යයන්ගෙන් බාහිරවූ පෘථග්ජන පක්ෂයෙහි සිටියෙකැයි කියමි. නන්දිය එතකුදු වුවත් ආර්ය්යශ්රාවක තෙමේ යම්සේ ප්රමාදව වාසය කරන්නෙක් වෙයිද අප්රමාදව වාසය කරන්නෙක් වෙයිද එය අසව, නන්දිය, ආර්ය්යශ්රාවක තෙමේ කෙසේ නම් ප්රමාදව වාසය කරන්නෙක් වෙයිද? “නන්දිය, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, අෂ්ට විද්යාවෙන් හා පසලොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්යවත්හ යනුවෙන් බුදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, “හෙතෙම බුදුන් කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්රීතිය නූපදියි. ප්රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ. සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්ත වූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්රමාදව වාසය කරන්නේය යන සංඛ්යාවට පැමිණෙයි.
“තවද නන්දිය, ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට වදාරණ ලදී... යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, “හෙතෙම ධර්මය කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි... සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්රමාදව වාසය කරන්නේය යන සංඛ්යාවට පැමිණෙයි. “තවද නන්දිය, ආර්ය්යශ්රාවකතෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... යනුවෙන් සංඝයා කෙරෙහි නොසෙල්වන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, “හෙතෙම සංඝයා කෙරෙහි වූ ඒ නොසැලෙන ශ්රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි... සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්රමාදව වාසය කරන්නේය. යන සංඛ්යාවට පැමිණෙයි. ‘තවද නන්දිය ආර්ය්යශ්රාවකතෙමේ නොකැඩුනාවූද, නො සිදුරුවූද, නො ලපවූද නො තිත්වූද, නිදොස්වූද, නුවණැත්තන් විසින් පසස්නා ලැබුවාවූද, තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්ලාගනු නොලැබුවාවූද, සිත එකඟ කරන්නාවූද, ආර්ය්යයන් කැමතිවූ සීලයෙන් යුක්ත වෙයිද, “හෙතෙම ඒ අරියකාන්ත සීලයෙන් සතුටුවූයේ මත්තෙහි දහවල් කාලයෙහි විවේකය පිණිසද රාත්රි කාලයෙහි විවේකය පිණිසද උත්සාහ නොකරයි. මෙසේ ප්රමාදව වාසය කරණ ඔහුට සතුට නැත. සතුට නැතිකල්හි ප්රීතිය නැත. ප්රීතිය නැතිකල්හි සංසිඳීම නැත. සංසිඳීම නැති කල්හි දුක් සහිතව වාසය කරයි. දුකින් යුක්තවූවහුගේ සිත සමාධියට නොපැමිණෙයි. සමාධිය නැති සිතෙහි ධර්මයන් පහළ නොවෙත්. ධර්මයන් පහළනොවීමෙන් ප්රමාදව වාසය කරන්නේය. යන සංඛ්යාවට පැමිණේ. නන්දිය මෙසේ වනාහි ආර්ය්යශ්රාවක තෙමේ ප්රමාදව වාසය කරන්නෙක් වෙයි.
“නන්දිය, කෙසේනම් ආර්ය්යශ්රාවකතෙමේ අප්රමාදව වාසය කරන්නෙක් වෙයිද? නන්දිය මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවකතෙමේ මෙසේ ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්යහ සම්යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. අනුත්තර පුරිසදම්මසාරථි වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වනසේක. චතුස්සත්යය අවබෝධකළ සේක. භාග්යවත්සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයි. “හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචල ශ්රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දවල් කාලයෙහි විවේකය සඳහාද රාත්රිකාලයෙහි විවේකය සඳහාද උත්සාහ කෙරෙයි. මෙසේ අප්රමාදව වාසයකරන ඔහුට සතුටු ඇතිවෙයි. සතුටු වූවාහුට ප්රීතිය ඇතිවෙයි. ප්රීතිය ඇත්තහුට සංසිඳීම ඇතිවෙයි සංසිඳුණහුට සැපය ඇතිවෙයි. සුවපත් වූවහුගේ සිත එකඟ වෙයි. සිත එකඟවූකල්හි සමථ විදර්ශනා ධර්මයෝ පහළවෙත්. ධර්මයන් පහළවීමෙන් අප්රමාදව වාසය කරන්නේය යන සංඛ්යාවට පැමිණෙයි.
“තවද නන්දිය, ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... “හෙතෙම ධර්මය කෙරෙහිවූ අචල ශ්රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්රි කාලයෙහි විවේකය සඳහාද උත්සාහ කෙරෙයි... ධර්මයන් පහළවීමෙන් අප්රමාදව වාසය කරන්නේය යන සංඛ්යාවට පැමිණෙයි. “තවද නන්දිය, ආර්ය්යශ්රාවකතෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නොසෙල්වන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... “හෙතෙම සංඝයා කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්රද්ධාවෙන් සතුටු නොවී මත්තෙහි දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්රි කාලයෙහි විවේකය සඳහාද උත්සාහ කරයි... සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළවීමෙන් අප්රමාදව වාසය කරන්නේය, යන සංඛ්යාවට පැමිණෙයි. ‘තවද නන්දිය ආර්ය්යශ්රාවකතෙමේ නොකැඩුනාවූද... ආර්ය්යයන් කැමතිවූ සීලයෙන් යුක්ත වෙයිද... හෙතෙම ඒ ආර්ය්යකාන්ත ශීලයෙන් සතුටුනොවී මත්තෙහි දවල් කාලයෙහි විවේකය පිණිසත් රාත්රි කාලයෙහි විවේකය පිණිසත් උත්සාහ කරයි. මෙසේ අප්රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්රීතිය උපදියි, ප්රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුනු කය ඇත්තේ සැපය විඳීයි, සැපවත් වූවහුගේ සිත එකඟවෙයි. එකඟ වූ සිතෙහි ධර්මයෝ පහළවෙත්, ධර්මයන් ගේ පහළවීමෙන් අප්රමාදව වාසය කරන්නේය යන සංඛ්යාවට පැමිණේ නන්දිය, මෙසේ වනාහි ආර්ය්යශ්රාවකතෙමේ අප්රමාදව වාසය කරන්නේ වේයයි” වදාළේය.
පුඤ්ඤාභිසන්දවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
අභිසන්ද සූත්ර තුනක් ද, දේවපද සූත්ර දෙකක් ද, සභාගත, මහානාම, වස්ස, කාලිගොධා සහ නන්දිය සූත්රය ද (මේ වර්ගයේ වෙත්).