11. 4. 8.
වස්සූ‘පම සූත්‍රය
3806. මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. “මහණෙනි, කඳු මුදුනක මහඝන දිය බින්දු සහිත වැසි වසිනා කල්හි පහත් තැන් අනුව ගලාබස්නා එම වතුර පර්වත කඳුරැළි මහ බිම් විවර ශාඛා යම්සේ පුරවයිද, පර්වත කඳුරැලි මහ බිම්කුහර ශාඛා පිරීයාමෙන් කුඩා වළවල් පුරවයිද, කුඩා වළවල් පිරීමෙන් මහ වළවල් පුරවයිද, මහ වළවල් පිරීයාමෙන් කුඩා ගංගා පුරවයිද, කුඩා ගංගා පිරීයාමෙන් මහ ගංගා පුරවයිද, මහ ගංගා පිරීයාමෙන් මහමුහුදවූ සයුර යම්සේ පුරවයිද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ බුදුරදුන් කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ධර්මය කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, සංඝයා කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ආර්‍ය්‍යයන් කැමතිවන යම් ඒ සීලයෝ වෙත්ද? ගලාබස්නාවූ මේ ධර්මයෝ පරතෙරට ගොස් කෙලෙසුන්ගේ නැසීම පිණිස පවතිත්යයි” වදාළහ.
11. 4. 9.
කාලිගොධා සූත්‍රය
3807. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත් පුර නිග්‍රොධාරාමයෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන කාලිගොධා නම්වූ ශාක්‍යාවගේ නිවෙස යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පනවනලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හි කාලිගොධා නම්වූ ශාක්‍යාව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක නම් එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නීය. එක්පසෙක හුන්නාවූ කාලිගොධා නම් ශාක්‍යාවට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
“ගොධාවෙනි කරුණු සතරකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ දුගතියට නොවැටීම ස්වභාවකොට ඇති නියත ගති ඇති මතු මාර්ගත්‍රය පිහිටකොට ඇති සෝවාන්වූ තැනැත්තියක් වන්නීය. කිනම් සතරකින්ද? ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... ගොධාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවිකා තොම ත්‍යාගය පිණිස මුදන ලද සිත් ඇත්තී පිරිසුදු කරන අත් ඇත්තී දීමෙහි ඇලුනී ඉල්වීමට සුදුසු වූවා දන් බෙදාදීමෙහි ඇලුනි පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වසයිද ගොධාවෙනි මේ කියන ලද කරුණු සතරින් යුත් ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ දුගතියට නොවැටීම ස්වභාවය කොට ඇති නියත ගති ඇති මතුමාර්ගත්‍රය පිහිටකොට ඇති සෝවාන් තැනැත්තියක් වෙයි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සෝවාන් අංග (සොතාපත්තියංග) සතරක් දේශනා කරන ලද්දාහු ද, ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහ. මමත් ඒ ධර්මයන්හි දක්නා ලැබෙමි. ස්වාමීනි, මම වනාහි ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙනුදු -පෙ- දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේක’ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූවා වෙමි. ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- කුලයෙහි දිය යුතු යම්කිසි දෙයක් ඇත්නම්, ඒ සියල්ල කල්‍යාණ ධර්ම ඇති සිල්වතුන් සමඟ නොබෙදන ලද්දේ (පොදුවේ ඇත්තේ) වෙයි” යි. “ගොධාවෙනි, තොපට ලාභයකි. ගොධාවෙනි, තොප විසින් මනා ලැබීමක් ලබන ලදී. ගොධාවෙනි, තොප විසින් සෝවාන් ඵලය ප්‍රකාශ කරන ලදී” යි.
11. 4. 10.
නන්දිය සක්ක සූත්‍රය
3808. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ නන්දිය ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ශ්‍රොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද? ස්වාමීනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාම ප්‍රමාදව වාසය කරන්නෙකැයි කියනු ලැබේද?
“නන්දිය යමෙකුට සොතාපත්තියංග ධර්ම සතර සියලු ආකාරයෙන් සම්පූර්ණව නැත්තේද මම ඔහු ආර්‍ය්‍යයන්ගෙන් බාහිරවූ පෘථග්ජන පක්ෂයෙහි සිටියෙකැයි කියමි. නන්දිය එතකුදු වුවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම්සේ ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද අප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද එය අසව, නන්දිය, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කෙසේ නම් ප්‍රමාදව වාසය කරන්නෙක් වෙයිද? “නන්දිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසලොස්චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, “හෙතෙම බුදුන් කෙරෙහිවූ ඒ නොසැලෙන ශ්‍රද්ධාවෙන් සතුටුව දහවල් කාලයෙහි විවේකය සඳහාද රාත්‍රි කාලයෙහි විවේකය සඳහාද මත්තෙහි උත්සාහ නොකරයි. මෙසේ ප්‍රමාදව වාසය කරන්නාවූ ඔහුට සතුට නූපදියි. සතුට නොමැති කල්හි ප්‍රීතිය නූපදියි. ප්‍රීතිය නොමැති කල්හි සන්සිඳීම ඇති නොවේ. සන්සිඳීම නැති කල්හි දුකසේ වාසය කරයි. දුකින් යුක්ත වූවහුගේ සිත එකඟ බවට නොපැමිණෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා ධර්මයෝ පහළ නොවෙත්. සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළ නොවීමෙන් ප්‍රමාදව වාසය කරන්නේය යන සංඛ්‍යාවට පැමිණෙයි.