11. 4. 7.
මහානාම සූත්‍රය
3805. එකං සමයං භගවා සක්කෙසු විහරති කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි මහානාම ශාක්‍ය රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කෙළේය. “ස්වාමීනි, කොපමණකින් උපාසකයෙක් වෙයිදැයි” (ඇසීය.) “මහානාමය, යම් වේලාවක පටන් බුදුන් සරණ ගියේ වෙයිද, ධර්මය සරණ ගියේ වෙයිද, සංඝායා සරණ ගියේ වෙයිද මහානාම, එතැන් පටන් උපාසකයෙක් වේයයි” (වදාළහ.)
“වහන්ස, කොපමණකින් වනාහි උපාසක තෙම සීලයෙන් යුක්ත වෙයිද?” “මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම, මෙපමණකින් උපාසක තෙම සිල්වතෙක් වෙයි.”
“වහන්ස, කොපමණකින් උපාසකතෙම සැදැහැවතෙක් වෙයිද?” “මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ යනුවෙන් සැදැහැ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයිද, මහානාම, මෙපමණකින් උපාසකතෙම සැදැහැයෙන් යුක්තවූවෙක් වෙයි”
“වහන්ස, කොපමණකින් උපාසක තෙමේ ත්‍යාගයෙන් යුක්තවූවෙක් වෙයිද?” “මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම ත්‍යාගය පිණිස මුදනලද සිත් ඇත්තේ පිරිසිදු කරනලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ ඉල්වීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමල ඇති සිතින් ගිහි ගෙයි වාසය කරන්නේද මහානාමය, මෙපමණකින් උපාසක තෙම ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි.”
“වහන්ස, කොපමණකින් වනාහි උපාසකතෙම නුවණ ඇත්තෙක් වූයේ වෙයිද?” “මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම තියුණු අවබෝධයෙන් යුත් මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූ නැණවතෙක් වෙයිද, මහානාම, මෙපමණකින්ම උපාසක තෙම නුවණින් යුක්තවූවෙක් වේයයි” වදාළේය.
11. 4. 8.
වස්සූ‘පම සූත්‍රය
3806. මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. “මහණෙනි, කඳු මුදුනක මහඝන දිය බින්දු සහිත වැසි වසිනා කල්හි පහත් තැන් අනුව ගලාබස්නා එම වතුර පර්වත කඳුරැළි මහ බිම් විවර ශාඛා යම්සේ පුරවයිද, පර්වත කඳුරැලි මහ බිම්කුහර ශාඛා පිරීයාමෙන් කුඩා වළවල් පුරවයිද, කුඩා වළවල් පිරීමෙන් මහ වළවල් පුරවයිද, මහ වළවල් පිරීයාමෙන් කුඩා ගංගා පුරවයිද, කුඩා ගංගා පිරීයාමෙන් මහ ගංගා පුරවයිද, මහ ගංගා පිරීයාමෙන් මහමුහුදවූ සයුර යම්සේ පුරවයිද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ බුදුරදුන් කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ධර්මය කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, සංඝයා කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ආර්‍ය්‍යයන් කැමතිවන යම් ඒ සීලයෝ වෙත්ද? ගලාබස්නාවූ මේ ධර්මයෝ පරතෙරට ගොස් කෙලෙසුන්ගේ නැසීම පිණිස පවතිත්යයි” වදාළහ.
11. 4. 9.
කාලිගොධා සූත්‍රය
3807. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත් පුර නිග්‍රොධාරාමයෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන කාලිගොධා නම්වූ ශාක්‍යාවගේ නිවෙස යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පනවනලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හි කාලිගොධා නම්වූ ශාක්‍යාව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක නම් එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නීය. එක්පසෙක හුන්නාවූ කාලිගොධා නම් ශාක්‍යාවට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.