11. 4. 6.
සභාගත සූත්‍රය
3804. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ සතුටු සිතැති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථාකෙරෙත්. කවර නම් සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, ‘යම් ඒ දේවතාකෙනෙක් බුදුරදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහුය. මෙලොවින් චුතවී දෙව්ලොව උපන්නාහුද, ඒ දේවතාවන්ට මෙබඳු අදහසක් වෙයි. අපි වනාහි යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් මේ දෙව්ලොව උපන්නමෝද එලෙසින් බුදුරදුන් කෙරෙහි නො සැලෙන සැදැහැයෙන් යුක්තවූයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේද දෙවියන් වෙත එනුමැනවයි’ කියායි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි -පෙ- සංඝයා කෙරෙහි -පෙ- තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නොකැඩුණාවූ -පෙ- සමාධිය පිණිස පවත්නාවූ ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්ත වූ යම් ඒ දේවතාවෝ මෙලොවින් චුතව එහි උපන්නාහු ද, ඔවුනට මෙබඳු සිතක් වෙයි: “අපි යම්බඳු ආර්‍ය්‍යයන් කැමති ශීලයකින් යුක්ත වූවෝ එලොවින් චුතව මෙහි උපන්නමෝ ද, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේත් එබඳු ආර්‍ය්‍යයන් කැමති ශීලයෙන් යුක්ත වූයේ දෙවියන් සමීපයට එන්නේය” යි. මහණෙනි, මේ ධර්ම සතරින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවකයා ගැන සතුටු සිත් ඇති දෙවියෝ සභාවට රැස් වූවාහු කථා කරති.
11. 4. 7.
මහානාම සූත්‍රය
3805. එකං සමයං භගවා සක්කෙසු විහරති කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි මහානාම ශාක්‍ය රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කෙළේය. “ස්වාමීනි, කොපමණකින් උපාසකයෙක් වෙයිදැයි” (ඇසීය.) “මහානාමය, යම් වේලාවක පටන් බුදුන් සරණ ගියේ වෙයිද, ධර්මය සරණ ගියේ වෙයිද, සංඝායා සරණ ගියේ වෙයිද මහානාම, එතැන් පටන් උපාසකයෙක් වේයයි” (වදාළහ.)
“වහන්ස, කොපමණකින් වනාහි උපාසක තෙම සීලයෙන් යුක්ත වෙයිද?” “මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම, මෙපමණකින් උපාසක තෙම සිල්වතෙක් වෙයි.”
“වහන්ස, කොපමණකින් උපාසකතෙම සැදැහැවතෙක් වෙයිද?” “මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ යනුවෙන් සැදැහැ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයිද, මහානාම, මෙපමණකින් උපාසකතෙම සැදැහැයෙන් යුක්තවූවෙක් වෙයි”