11. 4. 2.
දුතියාභිසන්ද සූත්‍රය
3800. මහණෙනි, සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතරකි. ඒ කවර සතරක්හුද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ හික්මිය යුතු පුරුෂයන් හික්මවීමෙහි තමන්ට වඩා වැඩි කෙනකු නැත්තාහ, දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ සැපයට හේතුවූ පළමුවන පුන්‍ය ගංගාවය, කුසල ගංගාවය. තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය... යනුවෙන් සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ, පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වසයිද සැපයට හේතුවූ මේ සතරවැනි පුන්‍ය ගංගාවය, කුසල ගංගාවය. මහණෙනි, සැපයට හේතුවූ මේ පුන්‍යගංගා කුසල ගංගා සතර වෙති.
11. 4. 3.
තතියාභිසන්ද සූත්‍රය
3801. මහණෙනි, සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතරකි. ඒ කවර සතරක්හුද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ... යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ සැපයට හේතුවූ පළමුවන පුන්‍ය ගංගාවය, කුසල ගංගාවය. තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය... යනුවෙන් සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද... තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ තියුණු අවබෝධයෙන් යුක්තව මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූයේ නුවණැත්තේ වෙයිද සැපයට හේතුවූ මේ සතර වැනි පුන්‍ය ගංගාවය කුසල ගංගාවය. මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති.
11. 4. 4.
දෙවපද සූත්‍රය
3802. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගත් මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද පළමුවෙනි පාදයයි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැස ගන්නාලද දෙවැනි පාදයයි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසද විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද තෙවෙනි පාදයයි.
නැවතද අනික් කරුණක් කියමි. මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ කඩනොවූ... සීලයෙන් යුක්තවූයේ වෙයිද, මේ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනි පාදයයි. මහණෙනි, මේ වනාහි අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්‍ර සත්වයන්ගේ පවිත්‍රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගත් පාදයෝ සතර වෙති.