11. 3. 6.
ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
3794. එසමයෙහි වනාහි අනාථපිණ්ඩික ගෘහපති තෙම ලෙඩවූයේ දුකට පත්වූයේ බලවත් සේ ගිලන්වූයේ විය. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය. ‘පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට යව. ගොස් මාගේ වචනයෙන් ආයුෂ්මත් සාරිපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙපා හිසින් වඳුව. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙම රොගාතුරව දුක් සහිතව දැඩිගිලන්ව වෙසෙයි. හෙතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙපා සිරසින් වඳියි” කියායි. මෙසේත් කියව. “ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහුගේ ගෙදර යම් තැනෙක්හිද, එතැනට අනුකම්පා කර වඩිනසේක් නම් යහපත” කියායි.
“එසේය ස්වාමීනියි කියා ඒ පුරුෂතෙම අනාථ පිණ්ඩික ගෘහපතිහට උත්තරදී ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ලෙඩව දුකට පැමිණ බලවත්සේ ගිලන්ව වාසය කරයි. හෙතෙම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. ‘ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෙදර යම් තැනෙක් හිද, අනුකම්පාකර එහි වඩිනසේක් නම් යහපති’” යනුයි. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තූෂ්ණීම් භාවයෙන් ඉවසූසේක.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙම උදේ කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, පසුව යන ශ්‍රමණයන් වශයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් කැටුව අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෙය යම් තැනෙක්හිද එහි වැඩියේය. වැඩ, පණවනලද ආසනයෙහි වැඩ උන්නේය. වැඩ උන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතිහට මෙය කීහ. “ගෘහපතිය, කිම නුඹට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම දුක්වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන සැටියක් පෙනේද? වැඩීමක් නොපෙනේද?” “ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත් දුක්වේදනාවෝ වැඩෙත්. නොසංසිඳෙත්. වැඩෙන සැටියක් පෙනේ. සංසිඳෙන සැටියක් නොපෙනේ.’
ගෘහපතිය, බුදුරජාණන්වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද තොපට එබඳුවූ ඔවුන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොපැහැදීමක් නැත. ගෘහපතිය, තොපහට බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ අචල ප්‍රසාදයක් ඇත්තේය: ‘මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවිමිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ’ කියායි. බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ ඒ අචල ප්‍රසාදය තමා කෙරෙහි දක්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
ගෘහපතිය, ධර්මය කෙරෙහි යම්බඳුවූ නොපැහැදීමකින් යුත් අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදීද තොපට එබඳුවූ ධර්මය කෙරෙහි නොපැහැදීමක් නැත. ගෘහපතිය, තොපට ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තේය: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය. කල් නොයවා විපාක දෙන්නේය. එව බලවයි, පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය’ කියායි. ධර්මය කෙරෙහිවූ ඒ අචලප්‍රසාදය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
ගෘහපතිය, සංඝයා කෙරෙහි යම්බඳුවූ නොපැහැදීමකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද, නොපට එබඳුවූ සංඝයා කෙරෙහි නොපැහැදීමක් නැත. ගෘහපතිය, තොපට සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තේය: ‘භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය... ලෝකයාගේ උතුම් පිංකුඹුරය’ කියායි. සංඝයා කෙරෙහිවූ ඒ අචල ප්‍රසාදය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
ගෘහපතිය, යම්බඳුවූ දුශ්ශීල භාවයකින් යුක්තවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම වනාහි කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති, විෂමවූ වැටීම් ඇති, නරකයෙහි උපදියිද තොපහට එබඳුවූ දුශ්ශීල භාවයක් නැත්තේය. ගෘහපතිය, තොපහට කඩනොවූ සිදුරු නොවූ, කබරනොවූ, කැළල් නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් විසින් කැමතිවූ ශීලයෝ ඇත්තාහ. ඒ ආර්‍ය්‍යයන් විසින් කැමතිවූ ශීලයෝ තමා කෙරෙහි දක්නාවූ තොපගේ ඒ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.
ගෘහපතිය, යම්බඳුවූ මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ අශ්‍රැතවත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු පහවූ සැප ඇති විෂමවූ වැටීම් ඇති නරකයෙහි උපදියිද, තොපහට එබඳුවූ මිථ්‍යාදෘෂ්ටියක් නැත. ගෘහපතිය, තොපහට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේය. ඒ සම්‍යක් දෘෂ්ටිය තමා කෙරෙහි දකින්නාවූ තොපගේ වේදනාව ක්ෂණයකින් සංසිඳෙන්නේය.